හිටපු ජනාධිපති ගෝඨාභයගේ පොත ගැන සැකයක් පවතින බව අභයතිස්ස හිමියෝ පවසති

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එතුමා තනතුරෙන් නෙරපු ආකාරය පිළිබඳ පොතක් ලියා තිබෙන බවත් එහෙත් එම පොත ලියා ඇත්තේ ඔහු පැන්නු සැබෑ කුමන්ත්‍රණකරුවන් හඳුනාගෙන ද යන්න පිළිබඳව සැකයක් පවතින බව
මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්  මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ එම කුමන්ත්‍රණය සඳහා පසුබිම සකස් කර ගනු ලැබුයේ ඔවුන් විසින්ම බවයි .

මහජනතාවගේ හඬට කන් නොදීම කුමන්ත්‍රණයට හේතුවක් වූ බවත් එහි සැබෑ කුමන්ත්‍රණකරුවන් අදටත් ඔවුන්ගේ ඔඩොක්කුවේ සිටින ඔවුන්ගේම පවුලේ අය බවත් පොත් ලිවීමට පෙර එය නිසියාකාරව වටහාගත යුතු බවද අභයතිස්ස හිමියෝ පැවසීය .

එම ජනවරම ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙනු ලැබූයේ රනිල් එළවීමට බවත් එසේ ලබාදුන් ජනවරම ජනතා අපේක්ෂාවන්ට විරුද්ධව පාවිච්චි කරනවා නම් ඒ අය රටේ ජනතාවට වගකිව යුතුව තිබෙන බවද උන්වහන්සේ පැවසීය .
අපට රට වැදගත්වුවද දේශපාලකයන්ට රට වැදගත් නොවන බවත් ඔවුන් බලයට පත් වූ දා සිට තමන්ට බලයට ඒමට උදව් කළ මැති ඇමතිවරුන්ට හිතවතුන්ට වරප්‍රසාද වරදාන ලබාදෙමින් ඊළඟ මැතිවරණයට ඔවුන්ගේ සහය ලබා ගැනීම
පමණක් ගැන සිතමින් කටයුතු කරන බව ද පැවසීය .

ඉදිරියට මේ රටේ තත්ත්වය තව තවත් උග්‍ර අතට හැරෙන බවත් ඉන්දියානු ව්‍යාප්තවාදය නැමැති බූවල්ලා මේ වන විටත් රටේ කොටසක් ගිලගෙන ඉතිරි කොටස ගිල ගැනීමට සූදානමින් සිටියත් ඊට ඉඩ දිය නොහැකි බවද අභයතිස්ස හිමියන් පැවසීය.

අද වන විට මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කිසිදු වැඩ පිළිවෙලක් පේන තෙක් මානෙකවත් නොමැති බවත් රටේ තිබෙන සම්පත් විකුණාගෙන කනවා මිස වෙනත් කිසිදු දැක්මක් නොමැති වූ විට රටේ සම්පත් විකිණීම වහා නවතන ලෙස මහා නාහිමිවරුන් පවා පාලකයන්ට දැනුම් දී තිබුණත් වත්මන් ඊනියා රජය ඒ කිසිවක්ගණන් නොගෙන රටේ සම්පත් විකිණීමට සියලු පිඹුරුපත් සකසා අවසන් බවද උන්වහන්සේ පැවසීය.

මෙම තත්ත්වය වහා නවතන ලෙස බල කිරීමට ගෝඨාභය, මහින්ද, බැසිල් ඇතුළු කණ්ඩායමට යුතුකමක් තිබෙන බවද අවධාරණය කළ උන්වහන්සේ ඒ සියල්ලටම වඩා බල ලෝභය ප්‍රබල වී ඇති බවද උන්වහන්සේ අවධාරණය කළේය.

මෙම මහා පාවාදීම්වලට එරෙහිව මහා සංඝ සම්මේලනයක් හෙට දින පස්වරුවේ මානෙල්වත්ත විහාරස්ථ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත බවත් ඉන් අනතුරුව මහා සංඝරත්නයේ එම හඬ රට පුරා රැගෙන යන බවද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේය.

ෂේන් සෙනෙවිරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *