වැඩි මිලට කොත්තු රොටි වික්ක මුදලාලිට ඇප

කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ Street Food අලෙවි සැලකදී  ආහාර මිලදී ගැනීමට පැමිණි විදේශිකයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යපාරිකයෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මතය.

කෙසෙල්වත්ත පොලීසිය විසින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

අලුත් කඩේ ප්‍රදේශයේ වීථී අවන්හලකින් ආහාර මිලදී ගැනීමට පැමිණි සිටි විදේශිකයෙකුට පරුෂ වචනයෙන් බැණ වැදී හිරිහැර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙළෙඳසල් හිමියෙක් කෙසෙල්වත්ත පොලීසිය විසින් (16) අත්අඩංගුවට ගනු ලැබීය.

පොලීසිය පැවසුවේ, විදේශිකයා කොත්තු රොටියක මිල විමසූ විට වෙළෙඳසල් හිමියා රුපියල් 1,900ක් බව පවසන අවස්ථාවේදී මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග වෙළෙඳසැල් හිමියා මෙලෙස ඔහුට බැන තර්ජනය කර ඇති බවය.

කොළඹ අලුත්කඩේ පදිංචි මොහොමඩ් අමීර් හම්සා අමීර්  රුපියල් 50000ක මුදල්  හා ලක්ෂ දහයක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම ඉරුදිනකම කෙසෙල් වත්ත පොලිසියේ පෙනී සිටින ලෙසට සැකකරුට නියෝග කළේය.

කෙසෙල් වත්ත පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.

විදේශිකයෙකුට බැණ තර්ජනයක් කර අඩන්තේට්ටම් කිරීම සිදුකර ඇති සැකකරු ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් විශාල අපකීර්තියකට පත්වන ක්‍රියාදාමයක නිරතව ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකරඇති බවද පෙන්වා දුන්නේය.

සැකකරු වෙනුවෙන් නීතිඥ සංජය ගමගේ මහතාගේ උපදෙස් පරිදි   පෙනී සිටි නීතිඥ මහේෂ් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අන්තර්ජාලයට වීඩියෝව මුදාහල 
විදේශිකයා මෙවන් වීඩියෝවක් සැකසීමට පෙර සූදානමකින් යුතුව බීමතින් වෙළඳ සැලෙන් සැලට ගමන් කළ අයෙක් බවය.

ජපන් ජාතිකයින් චීන ජාතිකයින් ඇතුළු සෑම විදේශිකයකුම මෙම ආහාර වෙළඳ සැලට පැමිණෙන බවත් ,ඔවුන්ට ගරු මුහුමනින් ,ආචාරශීලීව භාණ්ඩ අලෙවි කිරීම සැකකරු විසින් සිදු කරන වීඩියෝ ඕන තරම් ඇති බවත් පැවසූ නීතිඥවරයා ජාත්‍යන්තර වශයෙන් ලංකාව අපකීර්තියට පත් වූයේ අදාළ වීඩියෝව යළිත් සංස්කරණය කර හඩකවා අන්තර්ජාලයට මුදාහැරීමෙන් බවත් එයට සිංහල හඬ කවා ඇති බවත් පෙන්වා දුන්නේය.

සිද්ධිය සම්බන්ධයෙන් විදේශකයා හෝ වෙන  යම් අයෙකු කළ මුල් පැමිණිල්ලක් නොමැති බවද,මෙම වීඩියෝවෙන් මෙවැනි දෙයක් බලාපොරොත්තු නොවූ බව අදාළ විදේශිකයා සිය අන්තර්ජාල ගිණුමක සටහන් කර ඇති බවද,අදාළ අන්තර්ජාල පිටපතක් අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිඥවරයා පෙන්වා දුන්නේය.තමන් මෙවන් දෙයක් බලාපොරොත්තු නොවූ බවත්,අදාළ කාරණාවෙන් තමන් නිදහස් වනු ඇති බවට බලාපොරොත්තු වන බවත් විදේශකයා සිය සටහනේ සටහන් තබා ඇති බව කිවේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කරමින් පැමිණිලි විභාගය ලබන හත්වැනි දිනට කල් තැබීය.

මෙම සිද්ධියට අදාළ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතින අතර පොලීසිය එම වීඩියෝ පදනම් කරගෙන සිදුකළ මූලික විමර්ශනවලට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

එම ප්‍රශ්නයට මූලික වූවා යැයි සැලකෙන වීඩියෝව පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *