රටේ ආර්ථිකය පිළිබඳ නිවැරදි දැක්මකින් තොරව ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා ජනතාව පීඩාවට ලක් වුණා

රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන, බලය ලබා ගැනීම වෙනුවෙන් ලබාදුන් දේශපාලන පොරොන්දු නිසා රටේ ජනතාවට දැඩි පීඩාවකට ලක්වීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

රජය විසින් හැමදේම නොමිලේ ලබාදීම රටේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන බවත් රටේ ආර්ථිකය ගොඩනැගීමේදී කඩිනමින් අපනයන ආර්ථිකයකට යොමු විය යුතු බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “යුනයිටඩ් යූත් තරුණ එකමුතුව “ තරුණ අපේ අනාගතය” නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමිනි. මෙම හමුව තැප්රොබේන් ඒන්ටර්ටේට්මන්ට්හීදි (12) පැවැත්විණි.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටි අතර, ඔවුන්ගේ ප්‍රශ්න ඍජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ද මෙහිදී අවස්ථාව සලසා දී තිබිණි.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ආර්ථිකය ගොඩනැගීමේදී අප කඩිනමින් අපනයන ආර්ථිකයකට යොමු විය යුතු බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් සදහන් කළේ,

” හැමදේම නොමිලේ ලබාදීම රටේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. නොමිලේ ලබා දීමේදී තව කෙනෙකුගෙන් එය අය කර ගැනීමක් සිදු වෙනවා. අපේ රටේ අපි හැම දේම නොමිලේ දුන්නා.

ආදායම් නැති වෙලාවෙදි මුදල් මුද්‍රණය කරමින් ජනතාවට නොමිලේ සහන ලබාදීමට කටයුතු කළා. මේ හේතුවෙන් ලබාගත් විදේශ ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් ඇති වුණා. අවසානයේ අප දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා.

ආණ්ඩුවක් ලෙස ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගත් විට ජනතාවට ගෙවීමේ හැකියාව ඇතිවෙනවා. එම ගෙවීමේ හැකියාව ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීමට නව වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාව එක් ඩොලරයක් සඳහා රුපියල් 310ක් පමණ වියදම් කරනවා. අප ඉන්නේ විශාල අර්බුදයක් මැදයි. එම අර්බුදයෙන් එළියට ඒමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා.

ඉතින් මම මෙතනට ඇවිල්ලා data නොමිලේ ලබා දෙනවා කියලා පොරොන්දු දුන්නොත් මම සිදු කරන්නේ සෑම දෙනාම මුළා කිරීමක්. ඒ නිසා මම ඔබලාට ලබා දෙන පොරොන්දුව වන්නේ ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කර ජනතාවගේ ගෙවීම් හැකියාව දියුණු කිරීමට වැඩසටන් ක්‍රියාත්මක කරන බවයි.

යම් දේවල් නොමිලේ ලබා දුන්නොත් ඉදිරියේදී නැවත විදුලි කප්පාදු, ඉන්ධන පෝලිම් ඇතිවෙන්න පුළුවන්. පසුගිය අදුරු යුගයට රට නැවත ඇද නොවැටෙන ලෙස කටයුතු කිරීමට අප සියලුදෙනා වගබලා ගත යුතුයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *