පරාටේ නීතිය අත්හිටුවීමට කැබිනට් තීරණයක්

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය කොළඹ දී අද (26) රැස්විය.

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවාසයකයන් රැක ගැනීමේ අරමුණෙන් පරාටේ බලතල නිශ්චිත කාලයකට අත් හිටුවීම පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඒ අනුව 2024 දෙසැම්බර් මස 15 වනදා දක්වා පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටුවනු ඇත.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ විසින් කළ ඉල්ලීමකට අනුව මුදල් ඇමති ලෙස ජනපති විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

යම් දේපළක් බැංකුවකට උකස් කර ණයක් ලබාගෙන ඇතිවිටදී ණයගැතියා එම ණය ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක, අධිකරණය ක්‍රියාවලියකින් තොර ව අදළ ණය මුදල ලබා ගැනීම සඳහා උකස් කර ඇති දේපොළ බැංකුව විසින් ප්‍රසිද්ධ වෙන්දේසියක දී විකුණා දමා එම ණය ආපසු අය කර ගැනීමට බැංකුව සතු බලය පරාටේ නීතිය ලෙස හැඳින්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *