ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කෙරේ.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය හා වැවිලි ව්‍යවසාය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවති 2023 යෞවන සමාජ ක්‍රීඩා උළෙල කෑගල්ල දිස්ත්‍රික් තරඟාවලිය සඳහා සහභාගී වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට රටතුළ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11000 ක් පමණ ක්‍රියාත්මක වුව ද , ඉන් ලියාපදිංචි කර ඇත්තේ 05 ක් පමණක් බවයි.

ඒ අනුව ලියාපදිංචියක් නැති ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පවතිනවා යන්නෙන් ගම්‍ය වන්නේ කිසිදු පාලනයකින් තොරව එම ආයතන පවත්වාගෙන යන බවයැයි සඳහන් කළ අමාත්‍යවරයා , ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු සඳහා අපහසුතාවයන්ට ලක්වූ ලක්ෂ 30 ක පමණ පිරිසක් සංවිධාන ගතවී ඇති බව ද මෙහිදී පැවසීය.

ඒ අනුව මෙය ජාත්‍යන්තරය දක්වා ගිය ප්‍රශ්නයක් බවත් , ඒ අනුව මෙම ආයතන සියල්ල ලියාපදිංචිය අනිවාර්ය කරන බවත්, ඒ අනුව මහ බැංකුවේ නියාමනයට හා නීතී පද්ධතියට එම ආයතන යටත් වන බවත් සඳහන් කළ අමාත්‍යවරයා , ඒ සඳහා අනුගත නොවන ආයතන හා පුද්ගලයන්ට රුපියල් ලක්ෂ 50 දඩ මුදලකටත් , වසර 05 දක්වා සිර දඩුවමකටත් යටත් වීමට සිදුවන බව ද සඳහන් කළේය.

මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් වැඩි වශයෙන් ගනුදෙනු කරනු ලබන්නේ ග්‍රාමීය අඩු ආදායම් ලබන ජනතාව බවත් , ඒ අනුව එම ජනතාව මුහුණ දී ඇති අසීරුතාවයන් සහ පීඩාකාරී තත්ත්වය රජය හඳුනාගෙන ඇති බැවින් මෙවන් පියවරක් අනුගමනය කිරීමට කටයුතු කළ බවත්, අමාත්‍යවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *