සනීපාරක්ෂක තුවා මිල අධික නිසා කාන්තාවන් 40%ක් භාවිතය නවත්වයි

පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට කාන්තාවන් 40%ක් පමණ කාන්තා සනීපාරක්ෂක භාවිතයෙන් ඉවත්වී ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ.

එම සමීක්ෂණයෙන් අනාවරණ වී ඇත්තේ සනීපාරක්ෂක තුවා සඳහා ඉහළ මිලක් ගෙවීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුවක් වී ඇති බවය.

කොවිඩ් වසංගතයත් සමග පැනනැගුණු ආර්ථික අර්බුදය හේතුවෙන් සියලුම භාණ්ඩ සඳහා ගෙවිය යුතු මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් තිබේ.

එය මෙරට පුරවැසියන්ගේ දෛනික ජීවිතයට දැඩි බලපෑමක් එල්ලකර ඇති අතර බොහෝ විට සිදුවූයේ ජනතාව තම පරිභෝජනයට ගන්නා භාණ්ඩ ප්‍රමාණය සීමා කිරීමය.

පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ නවතම සමීක්ෂණයක් එහි තවත් පැතිකඩක් පිළිබඳව අනාවරණ කර ඇත.

ඔවුන් පවසන්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් සියයට 40ක් කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත් වී ඇති බවය.

එමගින් කාන්තාවකගේ ජීවවිද්‍යාත්මක චක්‍රයට ඇති කරනු ලබන බලපෑම අවධානය යොමු කළයුතු මට්ටමක පවතින බව එම සංවිධානය පෙන්වා දෙති.

මේ අතර කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා මත රජය පනවා ඇති බදු රත්‍රන්, සිල්ක්, ගෝල්ෆ් පිති සහ කාලතුවක්කු සඳහා පනවා ඇති බදු බරට ද වඩා ඉහළ අගයක් ගෙන ඇති බව Pablic finance.lk වෙබ් අඩවිය අනාවරණය කරයි.

එමෙන්ම කාන්තා සනීපාරක්ෂක තුවා වැට්, වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බදු, සෙස් බදු, සමාජ ආරක්ෂණ බදු යන බදු වර්ග 4ටම යටත් වන බවද එම වෙබ් අඩවිය මගින් පෙන්වාදී තිබේ..

ඒ අනුව Pablic finance.lk වෙබ් අඩවිය සනීපාරක්ෂක තුවා සඳහා අයකරන බදු ප්‍රමාණය 47.1%ක් ලෙස පෙන්වා දී තිබේ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *