රාජ්‍ය නිලධාරීන්ගේ දුරකථන අංක 49%ක් ක්‍රියා විරහිත බව හෙළිවෙයි

ජනතාවට විවෘතකර ඇති, රාජ්‍ය සේවා සපයන නිලධාරීන්ගේ දුරකථන අංකවලින් 49%ක්, එනම් හරි අඩක්ම ක්‍රියා විරහිත අංක බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය විසිනි.

දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම රාජකාරී කටයුතු සිදුකරන ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙබ් පිටුවෙහි පළකර ඇති දුරකථන අංක සැලකිල්ලට ගනිමින් මෙම සමීක්ෂණය සිදුකර ඇත.

එහිදි සලකා බලා ඇත්තේ අදාළ අංක භාවිතයේ පවතින්නේද ? අංකය ඇමතීමේදී දුරකථනයට ප්‍රතිචාර දක්වන්නේද ? සහ පිළිතුරු සපයන්නේද ? යන්නය.

සමීක්ෂණයට භාජනය කළ දුරකථන අංක 589න් 286ක්, එනම් 49%ක්ම ක්‍රියා විරහිත අංක බව මෙහිදී හෙළි වී ඇත.

දුරකථන අංකය ක්‍රියාත්මක නමුත් පිළිතුරු නොදෙන ප්‍රතිශතය 22% කි.

ඇමතුම්වලට පිළිතුරු දීමේ ප්‍රතිශතය 29%ක් බව එම අධ්‍යයන අංශය පවසයි.

මීට අමතරව ප්‍රාදේශීය සභා 98ක, මහ නගර සභා 23ක සහ නගර සභා 36ක ස්ථාවර දුරකථන අංක මෙම අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත. 

එම සමීක්ෂණ ප්‍රතිඵල මඟින් රාජ්‍ය සේවයේ පවතින අකාර්යක්ෂමතාව පිළිබඳ අවබෝධයක් ලබාගතහැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *