රජයේ රෝහල්වල ඖෂධ 250ක තොග අවසන්

රජයේ රෝහල්වල ඖෂධ 850ක් අතරින් 250ක පමණ තොග අවසන් වී ඇතැයි රජයේ වෛද්‍ය සැපයුම් අංශ වාර්තා පෙන්වා දෙයි.

එලෙස තොග අවසන් වූ ඖෂධ අතර හෘද රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධ විශාල ප්‍රමාණයක් මෙන්ම දියවැඩියාව සඳහා භාවිතා කරන ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, නිර්වින්දක ඖෂධ, පිළිකා නාශක ඖෂධ, ආතරයිටිස් රෝගය සඳහා ලබා දෙන ඖෂධ, චර්ම රෝග සඳහා ලබා දෙන ඖෂධ මෙන්ම ලාදුරු රෝගය සඳහා ලබාදෙන ඖෂධ ඇතුළත් බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට වෛද්‍ය සැපයුම් අංශය සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එක්ව සතිපතා ඖෂධ සමාලෝචන රැස්වීම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පවත්වන නමුත් මෙම ඖෂධ හිඟය සඳහා පිළියමක් ලැබී නොමැති බවත් සතියෙන් සතිය හිඟවන ඖෂධයන්හි ප්‍රමාණය ඉහළ යන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මස 20 වැනිදා වන විට වාර්ෂික ඖෂධ තොග සමීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය සැපයුම් අංශය තොග භාරගැනීම නවතා දමන බව මේ වන විටත් දැනුම් දී ඇත. එම කාලයේ දී ඖෂධ තොග ලබාගැනීම මෙන්ම නිකුත් කිරීමද නවතා දැමුවහොත් ඉදිරි මාසය වන විට තවත් ඖෂධ 100ක් පමණ හිඟ ඖෂධ ලැයිස්තුවට එකතු වී හිඟ ඖෂධ ප්‍රමාණය 350 ද ඉක්මවා යා හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *