මෙරට පවුලක් කැනඩාවේදී මරා දමල

කැනඩාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික පවුලක් සහ එම පවුලේ හිතවතකු පසුගිය බදාදා දින රාත්‍රියේදී අමානුෂික ලෙස ඝාතනය කර ඇතැයි ඔටාවා පොලිස් ප්‍රධානි එරික් ස්ටබ්ස් ප්‍රකාශ කළේය.

මෙම ඝාතන සිදුකර ඇත්තේ ෆේබ්‍රියන් ද සොයිසා නම් 19 හැවිරිදි  ශ්‍රී ලාංකිකයකු විසින් බවත් ඔහු අධ්‍යාපනය ලබා ගැනීම සඳහා කැනඩාවට පැමිණි ඇති බවත් ඔටාවා පොලිස් ප්‍රධානියා පැවසුවේය.සැකකරු තියුණු ආයුධයකින් ඇන ඝාතන සිදු කර ඇති බවද ඔටාවා පොලිසිය ප්‍රකාශ කළේය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එකම පවුලේ මව,දරුවන් සිව් දෙනා සහ එම පවුලේ හිතවතෙකු බව ඔටාවා පොලිසිය ප්‍රකාශ කළේය.එම දරුවන්ගේ පියා තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ තත්ත්වය යහපත් බවත්  ඔටාවා පොලිසිය පැවැසුවේය.ඝාතනය ලක්වූ දරුවන් සිව් දෙනාම වයස අවුරුදු 7 ට අඩු බවත් මෙය ඉතාමත් ඛේදජනක සිදුවීමක් බවත් ඔටාවා පොලිස් ප්‍රධානියා ප්‍රකාශ කළේය.

මියගොස් ඇත්තේ 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක,හත් හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, සිව් හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි රින්යානා වික්‍රමසිංහ, දෙමස් හැවිරිදි කෙලී වික්‍රමසිංහ සහ වික්‍රමසිංහ පවුලේ හිතවතකු වූ 40 හැවිරිදි ගාමිණි අමරකෝන් යන අයවලුන් බව ඔටාවා පොලිසිය පැවසුවේය.

සැකකරුට විරුද්ධව මිනීමැරුම් චෝදනා 6 ක් සහ මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවක් ගොනු කර ඇති බව ඔටාවා පොලිසිය ප්‍රකාශ කළේය.

ප්‍රථම වතාවට ඊයේ(07) සැකකරුව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර නැවත එළඹෙන 14 වැනිදා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(විමුක්ති එස් රුද්‍රිගු)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *