පාසල් සිසුන් අයිස් මාරයාට බිළිදෙන අලුත්ම ජාවාරමක්

පාසල් වයසේ සිසුන්ව ඔවුන්ගේ සමීපතමයන් මාර්ගයෙන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි කරවාගැනීම් මේ වනවිට සිදුවන බව පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

ඒ අධික ලෙස අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ එකොලොස් හැවිරිදි පාසල් සිසුවෙකු සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විමර්ශනයකදී පොලීසිය කරුණු රැසක් අනාවරණය කරගෙන තිබේ.

මීට සම්බන්ධ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

කොළඹ පිහිටි පාසලක ඉගෙනුම ලබන එකොලොස් හැවිරිදි පිරිමි දරුවකු පසුගිය දිනක පාසලේ ගුරුවරයෙකුගේ මුදල් පසුම්බියෙන් රුපියල් 1300ක මුදලක් සොරකම්කර තිබුණි.

ඒ අනුව පාසලේ විදුහල්පතිවරයා විසින් දරුවාට දින 14ක පංති තහනමක් පනවා ඇති අතර, දරුවාගේ මවට දැනුම්දී ඇත්තේ පොලීසිය හරහාද මේ පිළිබඳව දරුවාට අවවාද කරන ලෙසය.

අනතුරුව දරුවාගේ මව දරුවා මුල්ලේරියාව පොලීසියට කැටුවගොස් ඇති අතර එහිදී දරුවා පවසා ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් සොරාගත් බවය.

ඒ් අනුව පොලීසිය මේ පිළිබඳව දරුවාගෙන් සූක්ෂ්ම ලෙස ප්‍රශ්නකර තිබේ.

ප්‍රශ්නකිරීම් හමුවේ දරුවා පවසා ඇත්තේ, තමන් පාසල නිමවී නිවස කරා පැමිණෙන විට ‘සුදු මාමා’ නැමැත්තෙක් තමන්ව නිවසක් වෙත රැගෙන ගොස් මත්වීම සඳහා බීම වර්ගයක් ලබාදෙන බවය.

අනතුරුව අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ලබාදෙන බවද ඔහු පොලිස් නිලධාරීන් හමුවේ පවසා තිබුණි.

ඒ අනුව මුල්ලේරියාව පොලිසියේ ස්ථානාධිපතිවරයා මේ පිළිබඳව බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ග මාරපන මහතාව හා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දැනුවත්කර තිබේ.

එහිදී වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ දරුවකු සම්බන්ධ කරුණක් හේතුවෙන් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමුකර විමර්ශන සිදුකරන ලෙසටය.

එහි ප්‍රතිඵලයක් ලෙස දරුවා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු වෙත ඉදිරිපත්කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ දරුවා බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවය.

‘සුදු මාමා’ නැමැත්තා, ඔහුගේ මිතුරෙක් හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ තමාව ලිංගික අපයෝජනය කළ බව දරුවා පසුව පොලිසිය හමුවේ පවසා තිබේ.

මුලින් අයිස් මත්ද්‍රව්‍ය නොමිලේ දරුවාට ලබාදී ඇතත්, දින කිහිපයකට පසුව ‘සුදු මාමා’ නැමැත්තා ‘අයිස් මත්ද්‍රව්‍ය අවශ්‍යනම් මුදල් රැගෙන එන්නැයි’  දරුවාට පවසා ඇති බව වාර්තාවෙයි.

දරුවා පොලීසිය හමුවේ පවසා ඇත්තේ අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ තමන් ඒ්වා මිලදී ගැනීම සඳහා මුදල් සොයාගත් අතර,පාසලේ ගුරුවරයාගේ මුදල් පසුම්බියෙන් රුපියල් 1,300ක මුදලක් සොරාගත්තේද අයිස් මත්‍ද්‍රව්‍ය මිලදී ගැනීමට බවය. 

තම මව හා පියා රැකියාවන්හි නිරත වන බැවින් පාසැල් වේලාවෙන් පසුව දරුවා මිත්තණියගේ රැකවරණය යටතේ සිට ඇති අතර, එලෙස මිත්තණිය සමඟ සිටින අතරතුර පවා තමන් සූක්ෂමව අයිස් මත්ද්‍රව්‍ය භාවිත කළ බවද දරුවා පවසා තිබේ.

දරුවාගේ මව පොලීසිය හමුවේ පවසා ඇත්තේ, සිය නැගණියගේ දික්කසාද සැමියා වන ‘සුදු මාමා’ නැමැත්තා පළිගැනීම සඳහා මෙම ක්‍රියාව සිදුකර ඇති බවය.

අනතුරුව මුල්ලේරියාව පොලීසිය මගින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ‘සුදු මාමා’ නැමැත්තාගෙන් දින 7ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරයි.

සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මුල්ලේරියාව පොලීසිය මඟින් විමර්ශන ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *