July 14, 2024
79/1 Colombo Road, Piliyandala, Sri Lanka
Hot News Local News

පස් දෙනකුට ජීවිත හා දෙදෙනකුට නෙත් ලබා දුන් කොළඹ සරසවියේ ඉසංක

මොළය මියගිය විශ්වවිද්‍යාල සිසුවෙකුගේ සිරුරු කොටස් දන්දීමට එම සිසුවාගේ මව්පියන් තීරණය කර තිබේ.

23 හැවිරිදි වියේ පසුවන ඉසංක රණසිංහ විශ්වවිද්‍යාලයේ අධ්‍යයයන කටයුතු නිමවී දුම්රියෙන් ගමන් කරමින් සිටියදී දෙමටගොඩ සහ කැලණිය යන දුම්රිය ස්ථාන අතරදී දුම්රියෙන් ඇදවැටීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදී වෛද්‍යවරුන් සිසුවාගේ මව්පියන් වෙත දැනුම්දී ඇත්තේ සිසුවාගේ මොළය මියගොස් ඇති බවය.

වෛද්‍යවරුන්ගේ දැනුම්දීමත් සමග ඉසංක මීට පෙර සඳහන් කර තිබූ අයුරින් ඔහුගේ සියලු අවයව දන්දීමට මව්පියන් වෛද්‍යවරු වෙත සිය එකඟතාව පළකර තිබේ.

ඒ අනුවයි ඉසංකගේ වකුගඩු දෙක, හෘදය, අග්න්‍යාසය සහ අක්මාව රෝගීන් පස්දෙනෙකු සඳහා බද්ධකිරීමට ලබා ඇත.

මීට අමතරව ඉසංකගේ ඇස් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් ලබාගෙන ඇති අතර ඔහුගේ සම රුධිර නාල සහ දණහිස් කටු ඇතුළු ශරීර කොටස් රැසක්ම රෝගීන් සඳහා ලබාගැනීමට දන්දීමට පියවර ගෙන තිබේ.

මියගිය සිසුවාගේ පියා වන නිමල්සිරි රණසිංහ මහතා සහ මව වන චන්ද්‍රිකා රංජනී මහත්මිය සිය බාල පුතුගේ හදිසි වියෝවෙන් කම්පාවට පත්ව සිටින අතර ඔවුහු  අදහස් දක්වමින් මෙසේ පැවසූහ.

“ මිය ගොස් සිටින අපේ බාල පුතා කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවා. අපේ වැඩිමල් පුතා වන කසුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි පිළිබඳ උපාධියක් හදාරනවා. මිය ගිය බාල පුතා විශ්ව විද්‍යාලයට ගියේ ආවේ දුම්රියෙන්. සුපුරුදු පරිදි ඔහු විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අවසන් වෙලා කොළඹ කොටුවේ ඉඳලා රඹුක්කන බලා යන දුම්රියෙන් ගෙදර එන්න ඇවිත් තිබෙනවා. දෙමටගොඩ සහ කැලණිය යන දුම්රිය ස්ථාන අතරදී පුතා දුම්රියෙන් ඇද වැටී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා.

ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ විශේෂඥ වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා ඔහුගේ මොළේ මිය ගොස් ඇති නිසා ජීවත් කිරීමට නොහැකි බවට තීරණය කර තිබුණා.රෝහල් වෛද්‍යවරයකු අපට කිව්වා පුතාගේ සිරුරු කොටස් පරිත්‍යාග කිරීමට කැමති නම් රෝගීන් රැසකට ජීවත් වීමේ වාසනාව ලබාදිය හැකි බව. අපි දෙවරක්ම නොසිතා පුතාගේ සිරුරු කොටස් දන්දීමට කැමැත්ත දුන්නා අපේ මේ බාල පුතා ද ජීවත්ව සිටියදී තමන් හදිසි අනතුරකින් මියගිය හොත් සිරුරු කොටස් දන් දෙන ලෙස ඉල්ලීමක් කර ඒ බව ඔහුගේ සමීප මිතුරන්ට දැනුම් දී තිබුණා.

නිරපරාදේ පොළොවට පස්වෙලා යන සිරුරේ ඕනෑම කොටසක් ලබාගෙන අසරණ රෝගීන්ට ජීවිතය ලබාදෙන ලෙස අප වෛද්‍යවරුන්ට දැනුම් දුන්නා. පුතාගේ මරණය අපට කොහෙත්ම දරා ගන්න බැහැ. පුතා ගැන මතක් වෙන මොහොතක් පාසා අපේ හදවත් පැලී යන අන්දමේ මහා වේදනාවක් දැනෙනවා.පුතාගේ සිරුරෙන් ලබාගත් කොටස් රෝගීන් ගණනාවකට බද්ධ කරලා ඔවුන් සුවපත් වෙමින් සිටින බවට වෛද්‍යවරුන් දැනුම් දීමක් කළා. ජීවිතයත් මරණයත් අතර සිටි රෝගීන් ගණනාවකට පුතා නිසා ජීවිතය ලැබුණු බව අසා සතුටු වුණා. ඒ ගැන හිතලා අපේ මහා වේදනාව යම් තරමකින් හෝ තුනී කරගෙන හිත හදාගන්න පුළුවන් වේවි යැයි කියා සිතනවා ” යැයිද මියගිය සිසුවාගේ මව්පියෝ පැවැසූහ.මියගිය සිසුවාගේ අවසන් කටයුතු මාලිගාතැන්න පොදු සුසාන භූමියේදී ඊයේ (19) සවස සිදුකිරීමට නියමිතව තිබිණි.

මෙම සුවිශේෂී දාන පාරමිතාව පිරූ කේ.පී.ටී. තනූෂ ඉසංක රණසිංහ සිසුවා වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයෙහි පදිංචිකරුවෙකි. පොළොවට පස්වන සිරුරින් ජීවත්වන මිනිසෙකුට ජීවිතය දෙන්න ඉසංක ඔබ කළ පරිත්‍යාගය සදා අමරණීයයි.

Leave feedback about this

  • Quality
  • Price
  • Service

PROS

+
Add Field

CONS

+
Add Field
Choose Image
Choose Video