තාවකාලිකව පළාත් ආයතනවල මාස 6ක් වැඩ කළා නම් සේවය ස්ථිරයි

පළාත් පාලන ආයතනවල අඛණ්ඩව දින එකසිය අසූවක් ඉක්මවා සේවය කළ තාවකාලිකව, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම යටතේ බඳවා ගත් සේවකයින් ස්ථිර කිරීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා අනුමැතිය ලබාගැනීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත්කර තිබේ.

පසුගිය වසරේ (2023) අගෝස්තු 29 වැනි දිනට අඛණ්ඩව දින එකසිය අසූවක් ඉක්මවා සේවයේ යෙදී සිටින ගණන අටදහස් හාරසිය තිස්පස් දෙනෙකි.

එම සේවකයින්ට සේවා ස්ථිරත්වය ලබාදීම සම්බන්ධයෙන් පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රත්පත්ති රාජ්‍ය ඇමැති සහ එහි ලේකම්වරයා අතර සාකච්ඡාවක් පසුගිය ජනවාරි 18 වැනිදා පවත්වා තිබුණි.

එහිදී පළාත් පාලන ආයතනවල මාර්ග නඩත්තු කටයුතු, කසළ අපහරණ කටයුතු, පුස්තකාල සේවා සහ කාර්යාල කාර්ය සහයක කටයුතුවල යෙදෙන මෙම පිරිසගේ සේවය අඛණ්ඩව සේවා පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බැවින් ඔවුන්ට සේවා ස්ථිරත්වයදීම සාධාරණ බව මෙහිදී සාකච්ඡා වී තිබේ.

එමෙන්ම මෙම පිරිස ස්ථිර කළ පසු මහා භාණ්ඩාගාරයට වන වැය බර යම් පමණකට පළාත් පාලන ආයතන වෙත දරා ගැනීමට ඇති හැකියාව පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබුණි. ස්වයං උත්පාදන ආදායම් ඉහළ මට්ටමක පවතින පළාත් පාලන ආයතන සඳහා එම ආදායම්වලින් ගෙවීමේ පදනම මත ඔවුන්ට සේවා ස්ථිරත්වය ලබාදීමට තීරණය විය.

ඒ අනුව මහ නගර සභා 24, නගර සභා 41 සහ ප්‍රාදේශීය සභා 117හි සේවකයන් 6678 සඳහා සභා අරමුදල් මගින් වැටුප් හා දීමනා ගෙවීමේ පදනම මත සහ අඩු ආදායම්ලාභී සභා 159 හි සේවකයින් 1757 සඳහා මහ භාණ්ඩාගාරය මගින් වැටුප් හා දීමනා ගෙවීමේ පදනම මත සේවා ස්ථිරත්වය ලබාදෙන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ්‍ය විසින් කැබිනට් අනුමැතිය ඉල්ලා ඇත.

චාමර පල්ලේගෙදර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *