කලාවේ සුරක්ෂිත බව වෙනුවෙන් පනතක් මගින් නව අධිකාරියක් – ක‍ලා සංගම් රැසක් අධිකරණ අමාත්‍යවරයා සමග සාකච්ඡාවක

කලාවේත් කලාකරුවන්ගේත් වෘත්තීයභාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පනතක් මගින් අධිකාරී බලයක් සහිත නව රාජ්‍ය ආයතනයක් පිහිටුවීමට අදාළ මූලික සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී සිදු කර තිබේ.

අධිකරණ,අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට මෙරට ප්‍රධාන ක‍ලා සංවිධාන රැසක නියෝජිතයන් ඇතුළු කලාකරුවන් රැසක් එක්ව සිටියහ.

සිනමාව, ටෙලිනාට්‍ය, සංගීත ක්ෂේත්‍රය, වේදිකා නාට්‍ය, චිත්‍ර කලාව, කවිය, හිටිවන කවිය ඇතුළු කලාවේ සියලු ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි අධිකාරි බලයක් සහිතව නව පනතක් මගින් මෙම රාජ්‍ය ආයතනය පිහිටුවිය යුතු බවටයි මෙහිදී යෝජනා වී ඇත.

කලාකරුවාගේ වෘත්තීය බව ආරක්ෂා කරගනිමින් කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යාමට අදාළව නව නීති සකස්විය යුතු බවට මෙහිදී සාකච්ඡා වී තිබේ.

මෙවැනි රාජ්‍ය මැදිහත්වීමක් මෙතෙක් සිදුවී නොමැති වීම විශාල ගැටලුවක් බවත් එබැවින් කලාකරුවන්ම රැස්වී විවිධ සංවිධාන පිහිටුවා ගත් බවත් මෙහිදී කලාකරුවන් පෙන්වා දෙනු ලැබුහ..

එබැවින් ‍ජාතික අවශ්‍යතාවක්ව පවතින මෙම කාර්ය සදහා මැදිහත්වීම සම්බන්ධයෙන් ඔවුන් අධිකරණ අමාත්‍යවරයාට සිය ස්තූතිය පුද කළේය.

එක් එක් කලා ක්ෂේත්‍රයන්ට බලපාන ගැටලු සහ අදාළ කරුණු වෙනස් බැවින් ඒවා වෙන් වෙන් වශයෙන් සළකා බැලීමේ අවශ්‍යතාව ද කලාකරුවන් මෙහිදී පෙන්වා දී තිබේ.

මෙහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කලාවට අදාළ සියලු අමාත්‍යාංශ සහ ආයතනවල සහයෝගයෙන් මෙම නව පනත කෙටුම්පත් කිරීමට සිය උපරිම දායකත්වය ලබා දෙන බවයි.

ඒ අනුව මීට අදාළ මූලික රාමුව සකස් කර ලබන ජනවාරි 10 ට පෙර ලබා දෙන ලෙස ද කලා සංවිධානවලට දැනුම් දෙනු ලැබුවා. එසේම කිසිදු දේශපාලන පක්ෂ පාට භේදයකින් තොරව හුදු කලාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ගන්නා මෙම පියවර සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *