ලොව පුරා සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් මුහුණ දෙන වත්මන් සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදනවලට තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කියුබාවේ හවානා නුවරදී ආරම්භ වූ “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුව අමතමිනි.
කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ කෙරුණු අතර සමුළුව ආරම්භ කිරීමට පෙර ඊට සහභාගී වූ සියලු රාජ්‍ය නායකයෝ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
මෙම සමුළුව කැඳවීම සම්බන්ධයෙන් කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් මහතා (Miguel Diaz-Canel Bermudez) වෙත ප්‍රශංසාව පළ කරමින් සිය දේශනය ආරම්භ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවිධ බහුපාර්ශ්වික සංසදයන් වල දී සංවර්ධනය වෙමින් පවතින රටවල අරමුණු සහ අභිලාෂයන් ඉටුකර ගැනීම වෙනුවෙන් කියුබාව ඉටු කර ඇති ඓතිහාසික භූමිකාව ද කෘතවේදීව සිහිපත් කළේ ය.
වසංගත, දේශගුණික විපර්යාස, ආහාර, පොහොර සහ බලශක්ති අර්බුද, තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට බාධා එල්ල කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත.
එසේම එම තත්ත්වය ගෝලීය ණය අර්බුදය උග්‍ර කරන අතර, ඒ හේතුවෙන් පෙර නොවූ විරූ අභියෝගයන්ට මුහුණ දීමට ගෝලීය දකුණේ රටවලට සිදු ව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ.
ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, 15 වැනි සියවසේ දී වෙඩි බෙහෙත්, කාලතුවක්කු සහ සමුද්‍රීය නැව් වැනි අංශයන් මඟින් යුරෝපය අත්කරගත් දියුණුව නිසා ඔවුන්ට ලෝකයේ අනෙකුත් රටවල් යටත් කර ගැනීමට හැකි වීමේ ප්‍රතිඵලයක් ලෙස ලෝකය තුළ අද වන විට තාක්ෂණික වශයෙන් විවිධ අසමතුලිතතා මතු වී ඇති බවයි.
එම අසමතුලිතතාව පියවා ගැනීම සඳහා ඩිජිටල්කරණය සහ බිග් ඩේටා, අයි.ඕ.ටී, කෘත්‍රිම බුද්ධිය, බ්ලොක් චෙයින්, ජෛව තාක්ෂණවේදය සහ ජාන අනුක්‍රමණය වැනි නව තාක්ෂණ ක්‍රමවේද වෙත කඩිනමින් යොමු විය යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.


