ශාසනික වශයෙන් ඓතිහාසික සිදුවීම් ගණනාවකට මුල් වූ නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (30) යෙදී තිබේ.
භික්ෂූන් වහන්සේ මෙන් ම කාරුණික සැදැහැති දායකයන් විසින් ද උදාර පෞරාණික බුද්ධ නියමයක් ඉටුකරන පෝය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක් පොහෝ දවස සලකනු ලැබේ. ශාසනය ආරක්ෂාවීමට, ගුණ ධර්ම වර්ධනයට භික්ෂූන් වහන්සේත් ගිහියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තිබිය යුතු ය.
ගිහි පැවිදි දෙපක්ෂය තුළින් සිදුවිය යුතු යුතුකම් නියම අවස්ථාවන් හි නිසිලෙස ඉටුවිය යුතුය. නිකිණි පුනු පොහෝ දිනය භික්ෂූන්වහන්සේ හා ගිහියා අතරත් අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ඇතිව ගිහි පැවිදි දෙපක්ෂය තුළින් යුතුකම් ඉටු වෙන දිනයක් වශයෙන් සඳහන් කළ හැකිය.
ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම, ආනන්ද හිමි රහත්භාවයට පත්වීම, පෙරවස් මඟහැරී ගිය භික්ෂූන් වහන්සේ පසුවස් එළැඹෙන දිනය වීම නිකිණි පසළොස්වක පොහොය දිනයේ සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.
එමෙන්ම බුදුරදුන්ගේ ලලාටධාතු නිධන් කර සේරුවිල දාගැබ තැනවීම ආරම්භ කිරීම, පුරාතන අරියවංස දේශනා උත්සවය සිදුකිරීම ආදී කරුණු නිකිණි පොහොය දිනයේ සිදුවු වැදගත් සිදුවීම් අතර මුලික වේ.