අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය 28 වැනිදා සවස 2.30ට ත්‍රෛනිකායික මහ නාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
මෙහිදී අභිනව අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සහ විජිනිපත පිළිගැන්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සිදු කෙරුණු ඇත.
රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවයට දේශපාලන පක්ෂ නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, තානාපතිවරුන් සහ පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
1954 ජුනි 15 වනදා මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල පල්ලේගම දී උපත ලැබූ පල්ලේගම හේමරතන නා හිමි මාතලේ බුලාගල ප්‍රාථමික විද්‍යාලය, පැල්වෙහෙර විද්‍යාලය හා කණ්ඩලම පල්ලේගම ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාල වලින් මූලික අධ්‍යාපනය ලැබීය.
1968 මැයි 09 වැනිදා ශ්‍රී මහා බෝධිය අභියස දී පැවිදි දිවියට ඇතුලත් වූ උන්වහන්සේ 1975 ජුනි 05 වැනිදා මහනුවර මල්වතු විහාරයේ දී උපසම්පදාව ලැබීය. අනුරාධපුර මහාවිහාර පිරිවෙනින් මූලික පිරිවෙන් අධ්‍යාපනය ලබා පසුව මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ සහ සඳලංකාව ශාස්ත්‍රෝදය පිරිවෙනේ උසස් අධ්‍යාපනය ලැබීය.
1977 සිට 1988 දක්වා ශ්‍රී මහා බෝධි තේවා කටයුතු බාරව කටයුතු කළ හේමරතන හිමියෝ 1982 සිට 1997 වසර දක්වා මහා විහාර පිරිවෙනෙහි ආචාර්යවරයකු හා පරිවේණාධිපති ලෙස කටයුතු කළහ. ශාස්ත්‍රවේදී උපාධිය ද ලබා සිටින උන්වහන්සේ විශිෂ්ට ගීත රචකයෙකි.
කැලණිය විශ්ව විද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා සිටි හේමරතන නා හිමියෝ 1988 සිට අනුරාධපුර ජේතවනාරාමාධිකාරී ලෙස වැඩ සිටිමින් සංස්කෘතික ත්‍රිකෝණයේ, ජේතවනාරාම ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂකවරයකු වශයෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළහ.
1995 වසරේ දී නුවරකලාවිය උප ප්‍රධාන සංඝනායක පදවියට පත් වූ පල්ලේගම හේමරතන නා හිමියන් 1995 සිට අටමස්ථාන කාරක සභාවේ සාමාජිකත්වය දැරීය. 1997 දී රුවන් වැලි මහා සෑයේ විහාරාධිකාරී ධුරයට පත් වූ හේමරතන හිමියෝ එම වර්ෂයේම නුවර කලාවිය ප්‍රධාන සංඝනායක පදවියෙන් ද පිදුම් ලැබූහ.
හිටපු අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර මහා විහාර ව්‍යාපෘතිය ආරම්භ කරමින් රුවන්වැලි මහා සෑය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ පල්ලේගම හේමරතන නා හිමි මෙරට ආගමික පුනර්ජීවනය වෙනුවෙන් මෙහෙවරක් සිදු කළ ශ්‍රේෂ්ඨ හිමි නමකි.
මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහතින්.
