කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් තමන්ට පහර දුන් බව පවසමින් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා රෝහල් ගත වී තිබෙන අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
මෙම පහරදීම හේතුවෙන් ස්ථානාධිපතිවරයාගේ මුඛය අභ්‍යන්තරයට සහ කම්මුල ප්‍රදේශයට හානි සිදුවී ඇති බව සඳහන්.
කැබිතිගොල්ලෑව කොට්ඨාශ දුෂණ මර්ධන අංශය විසින් ඉකුත් (22) වනදා ගෝඩා ලීටර් විස්සක් සමඟ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු සම්බන්ධයෙන් අවශ්‍ය ලියවිල්ලක් ලබා ගැනීම සඳහා ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ කාර්යාලයට පැමිණි අවස්ථාවේදී තමන්ට මෙම පහරදීම සිදුකළ බව පහරකෑමට ලක්වු වැඩබලන ස්ථානාධිපතිවරයා සිය දෛනික සටහන් පොතේ සටහන් කර කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් වි ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි විජේසේන මහතාගෙන් කළ විමසීමකදී මෙසේ පැවැසීය.
කැබිතිගොල්ලෑව පොලිස් අධිකාරී කාර්යාලයේදී සිදුවී ඇති බව කියන සිද්ධිය තමන්ට ද වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් ස්වාධීන අපක්ෂපාතී වූ විධිමත් පරීක්ෂණයක් පවත්වනවා. සත්‍ය තොරතුරු අනාවරණය කරගැනීමත්,යම්කිසි පාර්ශවයක් වරදක් සිදු කර ඇද්ද යන්න නිශ්චිතව දැනට ප්‍රකාශ කළ නොහැකියි.
මෙම විමර්ශනය සඳහා උතුරු මැද පළාතෙන් පිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු හෝ නියෝජ්‍ය පොලිස් පොලිස්පතිවරයකු පරීක්ෂණ සඳහා පත් කිරීමට පියවර ගන්නාවා.
(හේමන්ත රණසූරිය සහ උපාලි ආනන්ද)