කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි හවුස් ඔෆ් ෆැෂන් වෙළඳසැලේ සිදුවූ බව කියන ගැටුමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පසුගිය සෙනසුරාදා සවස බම්බලපිටිය, ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ප්‍රසිද්ධ හවුස් ඔෆ් ෆැෂන් වෙළඳසැලේ ම සිදුවීම වාර්තා වී තිබෙනවා.
එම නිමි ඇඳුම් වෙළඳසැලේ රථ ගාලේ සිය වාහනය නවතා ඇඳුම් මිලිදී ගැනීමට පැමිණි පාරිභෝගික යුවලක් සිය අවශ්‍යතාවය ඉටුකර ගැනීමෙන් පසුව නැවත ඉන් පිටව යෑමට පැමිණි අවස්ථාවේදී එහි රථ ගාලේ නවතා තිබු සිය වාහනය අවහිර වන ලෙස තවත් වාහනයක් නවතා ඇති බව දැක ඒ බව අසල සිටි ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
අවස්ථා කිහිපයකදී වාහනය ඉවත් කර ගන්නා ලෙසට අනෙක් වාහනයේ රියැදුරු දැනුවත් කරන ලෙස ඉල්ලා සිටියද එම වාහනය ඉවත් කර ගැනීම ප්‍රමාද වූ බවයි අදාළ යුවල පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.
ඇතිවූ ප්‍රමාදයත් සමග ඇඳුම් මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයා සහ එම නිමි ඇඳුම් වෙළඳසැලේ සේවකයින් බහින්ස්බස්වීමක් ඇතිවී තිබෙන අතර පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බවයි පොලිසිය සසඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම පැමිණිලි ලැබී ඇති බවත් සිදුවීම ගැන විමර්ශන සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.
එම නිවේදනයට අනුව ගැටුමට සම්බන්ධ පාරිභෝගිකයාගේ වාහනය රථ ගාලේදී වෙනත් වාහනයක් මගින් අවහිර කිරීම හේතුවෙන් ඔහු විසින් වෙළඳසැලේ කළමනාකරුට මේ පිළිබඳ පැමිණිලි කර තිබේ.
එහිදී එම වාහනය ඉවත් කරගන්නා ලෙස කිහිප වරක් කළමනාකරු විසින් දැනුම් දී තිබුණද එම වාහනයේ අයිතිකරු වෙනත් ස්ථානයක් කරා යාම හේතුවෙන් අවහිර වූ වාහනය ඉවත් කර ගැනීමට නොහැකි වී ඇත.
මේ තත්වය මත අදාළ පාරිභෝගිකයා තරමක් නොසන්සුන් වී ඇති අතර එහිදී ඔහු විසින් කළමනාකරුට හා ආරක්ෂක නිලධාරියාට බැන වැදී තිබේ.
බම්බලපිටියේ හවුස් ඔෆ් ෆැෂන් නිමි ඇඳුම් වෙළඳසැලට පැමිණි පාරිභෝගිකයෙකු සහ එහි කාර්ය මණ්ඩලය අතර හටගත් ගැටුම සම්බන්ධයෙන් එම ආයතනය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම අවස්ථාවේ ඇති වූ ගැටුම මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති අතර මේ සිදුවීම හරහා තම ආයතනය පාරිභෝගිකයන් සමග පවත්වාගෙන යන කීර්ති නාමයට හානියක් වී ඇති බවත් සිය පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට ඉදිරියේදී හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් එම ආයතනය දැනුම් දෙයි.