බ්‍රිතාන්‍ය නූතන ඉතිහාසයේ දරුණුතම අපරාධකාරියක් ලෙස සලකන ලූසි ලෙට්බි නම් 33 හැවිරිදි බ්‍රිතාන්‍ය හෙදිය ඇය සේවය කළ රෝහලේ උපත ලද ළදරුවන් 7 දෙනකු ඝාතනය කිරීම සහ තවත් ළදරුවන් 6 දෙනකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වරදකාරිය වීම නිසා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දීමට මැන්චෙස්ටර් ක්‍රවුන් අධිකරණය නියම කළේය.
මෙම නඩු වාරය සඳහා සහභාගී වීම ලූසි ලෙට්බි ප්‍රතික්ෂේප කර තිබේ. මෙම දඬුවම විනිසුරු ජස්ටිස් ගොස් විසින් ලබා දී ඇති අතර මෙම දඬුවම ඉතාමත් කලාතුරකින් ලබා දෙන ජීවිතාන්තය දක්වා සිර දඬුවමකි. එයට හේතුව වී ඇත්තේ දඬුවම ලබා දී ඇති ආකාරයට ඇයට සිය ජීවිතය අවසන් වන තෙක් කිසිම අයුරකින් නිදහස් විය නොහැකි වීමයි. මෙම දඬුවම බ්‍රිතාන්‍ය තුළ ලබා දී තවමත් බන්ධනාගාරයේ ජීවත්ව සිටින අය ඇත්තේ තුන්දෙනෙකු පමණක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ලූසි ලෙට්බි 2015 සහ 2016 අතර කාලයේදී මෙම ළදරුවන් ඝාතනය කර ඇති අතර ඝාතනයට ලක්වූ ළදරුවන් අතර පිරිමි ළදරුවන් 5 දෙනෙකු සහ ගැහැණු ළදරුවන් 2 දෙනෙකු සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.ලෙට්බිට ගොදුරු වූ සියලු ළදරුවන් නොමේරූ හෝ රෝගී තත්ත්වයෙන් පෙළුණු එම රෝහලේ සිටි අය බවද පැවැසෙයි.
එසේම තවත් දරුවන්ට ලූසි ලෙට්බි හානි කරන්නට ඇතැයි පොලිසිය බිය පළකර ඇති අතර එම රෝහලේ අසාමාන්‍ය සිදුවීම්වලට මුහුණදුන් තවත් ළදරුවන් 30 දෙනෙකු හඳුනාගැනීමට හැකියාව ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.
එසේම වාතය එන්නත් කිරීමෙන්, පානය කළ යුතු ප්‍රමාණය ඉක්මවා අධික ලෙස කිරි ලබා දීමෙන් සහ ඉන්සියුලින් එන්නත් කිරීමෙන් ළදරුවන්ට හානි කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ද ලූසි ලෙට්බි හට චෝදනා එල්ල වී තිබිණ.ඒ හේතුවෙන් ඇයට විරුද්ධව මිනීමැරුම් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනා ගොනු කෙරිණ. එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගය පසුගිය ඔක්තෝබර් මස ආරම්භ වූ අතර එය දීර්ඝ නඩු විභාගයක් විය.
(විමුක්ති එස් රුද්‍රිගු)