තරුණයන්ට සියයට 6.5ක පොලියට වගා ණය

රාජ්‍ය බැංකුවලින් ණය මුදල් ලබා ගැනීමට නොහැකි රැකියා විරහිත තරුණ ප්‍රජාවට සියයට 6.5ක  පොලි අනුපාතයක් යටතේ කෘෂිකාර්මික කටයුතු සඳහා ණය මුදල් ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ SAPP ව්‍යාපෘතිය සහන වැඩ පිළිවෙළක් අරඹයි.

වගා කටයුතු සදහා  කැමැත්තෙන් පසුවන තරුණ තරුණියන් කෘෂිකාර්මික කටයුතු සඳහා උනන්දු කරවීමේ වැඩ පිළිවෙළක් වශයෙන් තරුණ ප්‍රජාවට සහන පොලී අනුපාතයක් යටතේ ණය මුදල් රාජ්‍ය බැංකු මගින්  ලබා දීම සදහා මැදිහත් වන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යාපෘති හතරෙහි  නිලධාරින්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩ සටහන හෙවත් SAPP ව්‍යාපෘතිය විසින් ඊයේ (13) හම්බන්තොට දී තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට උනන්දු කරවීම සඳහා අදාළ සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ කළේය.

මෙම වැඩ පිළිවෙළ යටතේ සියයට 6.5ක අවම පොලී අනුපාතයක්  යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 50කට රුපියල් මිලියනයක් හා මිලියන දෙකක් බැගින් ණය මුදල් ප්‍රදානය කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරනු ලැබීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සහන ණය වැඩ සටහන යටතේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සිටින කෘෂිකර්මාන්තයට කැමැත්තක් දක්වන රැකියා විරහිත තරුණ තරුණියන්ට ද තමන් කැමැති සුදුසු වගාවක් සඳහා හෝ සත්ව පාලනය සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදල් ලබා දීමට කටයුතු යොදා ඇතැයි කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත් වැඩ සටහන හෙවත් SAPP ව්‍යාපෘතිය පවසයි.

එමෙන්ම කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත්ව වැඩ සටහන හෙවත් SAPP ව්‍යාපෘතිය විසින් ණය මුදල් ලබා ගන්නා තරුණ තරුණියන්ට අදාල වගා කිරීමට අවශ්‍ය තාක්ෂණය, උපදෙස්, අධීක්ෂණය හා තම නිෂ්පාදන අලෙවි කර ගැනීම සඳහා අවශ්‍ය වෙළෙද පොල ද සම්පාදනය කර දෙනු ලබයි.

විශේෂයෙන් රැකියා විරහිත තරුණ ප්‍රජාව ඉළක්ක කර ගනිමින් ආරම්භ කර ඇති මෙම වැඩ සටහන මගින් හැකි තරම් අපනයනය ඉළක්ක කර ගනිමින් වගා කළ හැකි කෘෂිකාර්මික බෝග, එළවළු හා පලතුරු නිෂ්පාදනය සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

මෙම අවස්ථාවට රාජ්‍ය බැංකු නියෝජනය කරමින් එහි උසස් නිලධාරින් මෙන්ම කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායකත්ව සහභාගිත් වැඩ සටහන හෙවත් SAPP ව්‍යාපෘතියේ නිලධාරින් ද සහභාගි වී සිටියහ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ණය මුදලක් ලබා ගැනීම ගැටලුවක් නොවන බවත්, ණයකරුවෙක් නොවී එම මුදල් ඵලදායි ලෙස යොදා ගනිමින් කෙටිකාලයක් තුළ තමන් සාර්ථක වීමටනම් උත්සාහයෙන් හා කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් අවධාරණය කළේය. බැංකුවල අසාදු ලේඛන ගත නොවී බැංකු සමග ගනුදෙනු කරන විශ්වාසය දිනාගත් හොඳ ගනුදෙනුකරුවෙක් වීමට උත්සාහ කරන ලෙස ද අමාත්‍යවරයා ණය ප්‍රතිලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x