නිවසක ළිඳක් තුළ ඇති බවට පැවසූ නිධානයක් ගොඩගැනීමට උත්සාහ කළ කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරියන් සහ සැකකරු කිරිවත්තුඩුව ප්‍රදේශයේ මැද්දහේනවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසකදී මෙම පිරිස පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
පොලීසිය වැඩිදුරටත් පවසන්නේ එම සැකකාරියන් අතර එම නිවසේ අයිතිකාර 76 හැවිරිදි කාන්තාවද සිටින බවය.
ඇයගේ මියගිය සැමියා සිහිනයෙන් පැමිණ ළිඳ තුළ නිදානයක් ඇති බව පැවසූ බවත් ඒ පිළිබඳව පනාගොඩ ප්‍රදේශයේ මෑණි නමැති කාන්තාවක් වෙත පැවසූ බවත් සැකකාර කාන්තාව පවසයි.
අනතුරුව “මෑණි” නමැති කාන්තාව ලබාදුන් උපදෙස් අනුව මෙම නිධානය ගොඩගැනීමට සැලසුම් කළ බවද ඇය පොලීසිය වෙත පවසා ඇත.
“මෑණි” නමැති කාන්තාව අදාළ කාන්තාවට පවසා ඇත්තේ නිධානය ගොඩගැනීම සඳහා කාන්තාවන් වැඩි ප්‍රමාණයක් යොදාගන්නා ලෙසටය.
ඒ අනුව අදාළ කාන්තාවන් පිරිස මෙම නිධානය ගැනීම සඳහා සැලසුම් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරියන් අතර 20 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් ද සිටී.
අනතුරුව “මෑණි” නමැති කාන්තාව අඳුනක් බලමින් පනාගොඩ සිට දුරකථනයෙන් ලබාදෙන උපදෙස් අනුව සෙසු කාන්තාවන් පිරිස කිරිවත්තුඩුව ප්‍රදේශයේ පිහිටි එම නිවසේ නිධානයක් ගොඩගැනීමට උත්සාහ කර තිබේ.
එම අවස්ථාවේ ඔවුන් සතුව තිබූ ළිඳ ඉසීම සඳහා යොදාගත් වතුර මෝටරයක්, ප්ලාස්ටික් බට තොගයක්, පූජා භාණ්ඩ සහ මල් පහන්, බේසම්, බාල්දි ආදී උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියන් පිරිස කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කහතුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.