තම බිරිඳගේ ඇඳුම සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක්, ආරවුලක් දක්වා දිව දුරදිග ගොස් සිත් තැවුලට පත්ව සියදිවි හානි කරගත් සිවිල් ආරක්ෂක සෙබළකු ගේ සිරුරක් ඊයේ ( 24දා) සොයා ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඒ. දුලීප් කවිෂ්ක අබේසිංහ නැමති සිප්පුකුලම අඹගහවෙල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
දරුවන් උපකාරක පන්ති රැගෙන යාම සඳහා බිරිඳ සුදු ඇඳුමකින් සැරසුණු අවස්ථාවේදී මරණකරු විසින් බිරිඳට පාට ඇඳුමක් ඇඳ ගෙන යන ලෙසට බැන වැදීමෙන් අනතුරුව, ඉකුත් 23 දා එම නිවසේ බහින් බස් වීමක් ඇති ව තිබූ බව පොලිසිය කියයි.
දරුවන් උපකාරක පංතියට ඇරලවීමට ගිය අවස්ථාවේදී සැමියා විසින් දුරකථන ඇමතුමක් ලබා ගෙන, යළි නිවසට පැමිණිය හොත් පහර දෙන බවට පැවසීම හේතුවෙන් බිරිඳ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර ලොකු අම්මාගේ නිවසට ගොස් තිබූ බව පොලිසිය කියයි.
මෙම පවුල් ආරවුල සම්බන්ධයෙන් පැමිණිල්ල විභාගය සඳහා සදහා ඊයේ (24 දා) පැමිණිලිකාර බිරිඳ පොලීසියට පැමිණ සිටියද, සිවිල් ආරක්ෂක සෙබලෙකු වන සැමියා නොපැමිණීම හේතුවෙන් අසල්වැසි පුද්ගලයකු හරහා සිදු කළ සොයා බැලීමකදී, ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව සිටි මරණකරුගේ සිරුර, නිවස ආසන්නයේ තිබී හමුවූ බව පොලිසිය සඳහන් කළේය.
මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. එල්. ගුණසේකර මහතාගේ උපදෙස් මත නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.