ඝාතනවලට හේතුව තවමත් අභිරහසක්
ඩෙල්ෆ් දූපතේ නිවසක පදිංචිව සිටි පිරිමි පුද්ගලයින් දෙදෙකෙු හා කාන්තාවන් තිදෙනෙකු ඊයේ (22) අලුයම තියුණු ආයුධවලින් පහරදී කපා කොටා සහාසික ලෙස ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
එසේම බරපතල තත්ත්වයේ සිටි තවත් කාන්තාවක් ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.
ඊයේ රාත්‍රී කාලයේ හා අද අලුයම් කාලයේදී මෙම ඝාතන සිදුව ඇති අතර මරණකරුවන් හා මරණකාරියන් වැඩිහිටි වයස්වල පසුවූ ඥාතීන් වෙයි.
ඉන් එක් පිරිමි පුද්ගලයෙක් සාලයේදී ඝාතනය කර තිබුණු අතර අනෙක් පුද්ගලයා ඝාතනය කර තිබුණේ කාමරයක් තුළදීය.
එමෙන්ම තවත් කාන්තාවක් කාමරයක ඇඳ මතදී කපා කොටා ඝාතනය කර තිබුණි.
සෙසු කාන්තාවන් දෙදෙනා පොලීසියට හමුව තිබුණේ, නිවසේ පිටත පරිශ්‍රයේදීය.
යාපනය, ඩෙල්ෆ් දූපතේ ජැටියට ආසන්න මාවේලි ප්‍රදේශයේ නිවසක් තුළ සිදුකර තිබූ ඝාතනවලට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.
ඒ මහතා පැවසූවේ එම නිවසේ තිබූ කිසිවක් මංකොල්ල කෑමක් හෝ රැගෙනයාමක් නිරීක්ෂණය නොවන බවය.
එමෙන්ම කැපුම් තුවාල සහිතව බරපතළ තත්ත්වයේ පසුවූ තවත් කාන්තාවක් යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
එම කාන්තාව විදේශ ගතව සිට මෙරටට පැමිණ ඇති බව දැනට අනාවරණය වී ඇත.
ඝාතනයට ලක්වූ සියලුදෙනා වැඩිහිටියන් වන අතර ඔවුන් ඥාතීන් බවට පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.