අපරාධ නඩුවලින් බේරීමට තවත් අපරාධයක් කළ තරුණයෙක් අත්අඩංගුවට

තමා දිවි හානි කරගත් බවට සමාජයට ඇඟවීම සඳහා යාචකයෙකු ඝාතනය කොට එම මළසිරුර හුවා දක්වමින් පොලීසිය නොමඟ යැවීමට උත්සාහ කළ අයෙකු පිළිබඳව පලුගස්වැව ප්‍රදේශයෙන් වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ සැකකරු පොලීසියට පාපොච්චාරණය කර ඇත්තේ විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණයේ තමාට එරෙහිව පවතින නඩුවලින් බේරීමට මෙලෙස සිදුකළ බවය.

හබරණ පලුගස්වැව කුඩා රඹෑවේ ගල් වැඩපොළක් ආසන්නයේ තිබී පිළිස්සී මියගිය පුද්ගල මළ සිරුරක් හබරණ පොලීසියට හමුවන්නේ 2021 ඔක්තෝබර් 29 වනදාය.

හඳුනාගත නොහැකි තරමට පිළිස්සී තිබූ මළසිරුරට මඳක් ඈතින් වැටී තිබූ කඩදාසියක සටහන්ව තිබූ ලිපිනයක් එහිදී පොලීසියට හමුවී තිබුණි.

ඒ අනුව, මියගොස් තිබුණේ පලුගස්වැව පදිංචිකරුවෙකු වූ සුදේෂ් ඉලංගසිංහ නමැති 26 හැවිරිදි අයෙකි.

එහි ලිපියක් ද තිබී ඇති අතර ඒ අනුව එම මරණය දිවිහානි කරගැනීමක් වන්නට හැකි බවට පොලීසිය සැක පළ කළේය.

නමුත් විමර්ශනවලදී පොලීසියට හෙළිවී තිබුණේ කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අධිකරණයේ වරෙන්තු ලබා සිටි අයෙකු බවටය. 

කෙසේවෙතත් මරණය සම්බන්ධයෙන් පැවති මහෙස්ත්‍රාත් පරීක්ෂණයට පවුලේ කිසිවෙකු සම්බන්ධ නොවීම පොලීසියට සැකයක් මතු කර තිබුණි.

පසුව මෙහි සුලමුල හෙළිවන්නේ සිද්ධියෙන් වසර එකහමාරකට පසුවය.

ඒ ගලේවෙල අන්දරගොල්ල බඹරගස්වැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්, සිය ජාතික හැඳුනුම්පත අතුරුදන්ව ඇති බවට පසුගිය 10 වනදා පොලීසියට කළ පැමිණිල්ලකට අනුවය.

අසල්වැසි ඉඩමක පදිංචිව සිටින අයෙක් සිය සැමියාගේ මිතුරෙකු වන බවත් ඔහු නිතරම සිය නිවසට පැමිණෙන නිසා සිය හැඳුනුම්පත අස්ථානගතවීම සම්බන්ධයෙන් ඔහු ගැන සැකයක් ඇති බවත් ඇය පොලීසියට පවසා ඇත.

ඔහු සිය ජංගම දුරකථනය ආරෝපණය කර දෙන ලෙසට තමාට ලබාදුන් අවස්ථාවක එහි සිම්පත හොර රහසේ ගලවාගෙන එය තම ජංගම දුරකථනයට ඇතුළත් කොට පිරික්සූ බව කාන්තාව පොලීසිය පවසා තිබේ.

එහිදී කාන්තාවට හෙළිවී ඇත්තේ මෙම පුද්ගලයා ඇයගේ හැඳුනුම්පත භාවිත කර එම සිම්කාඩ් පත මිලදී ගෙන ඇති බවය.

ඒ අනුව මකුළුගස්වැව පොලීසිය විසින් පසුගිය 11 වනදාය ගලේවෙල ප්‍රදේශයේ වත්තක සේවය කරමින් සිටි සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි. 

පසුව ඔහු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී  පොලීසියට හෙළිවී ඇත්තේ මෙම සැකකරු 2021 වසරේ හබරණ පලුගස්වැව කුඩා රඹෑව ප්‍රදේශයේදී පිළිස්සී මියගිය බවට වාර්තා වූ සුදේශ් ඉලංගසිංහ යන අය බවටය.

ඒ අනුව, සැකකරුගේ නවාතැන්පොළේ තිබූ මුදල් පසුම්බියක් පරික්ෂා කිරීමේදී එහි තිබී ලිපියක් පොලීසියට හමුවී ඇත.

එය සැකකරු සිය මවට ලියූ ලිපියක් වන අතර එහි සඳහන්ව තිබී ඇත්තේ තමන් දිවි හානි කර නොගත් බවත් තමන් සහ මිතුරෙකු එක්ව හබරණ ප්‍රදේශයේ යාචකයෙකු රැගෙනවිත් පලුගස්වැවදී ඝාතනය කොට පුළුස්සා දමා තමා මියගිය බව හුවා දැක්වූ බවත්ය.

අධිකරණයේ පවතින නඩු සහ අධිකරණයට ගෙවීමට තිබූ මුදල් ගෙවා ගැනීමට නොහැකි නිසා තමන් මිය ගිය බව ලෝකයාට හැඟවීමට මෙලෙස උත්සාහ කළ බව ලිපියෙහි සඳහන්ව තිබේ.

මේ අතර, යාචකයා ඝාතනය කිරීමට සහාය දුන් බව කියන ප්‍රදීප් ගයාන් විජේසිංහ නමැත්තෙක් ද සැකකාර සුදේශ් සේවය කරමින් සිටි ගලේවෙල වත්තේදී ම මකුලුගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු මැදිරිගිරිය රණවිරු ගම්මානයේ පදිංචිකරුවෙකි.

ඔහු පොලීසියට පවසා ඇත්තේ මිතුරාගේ ජීවිතය බේරාගැනීම සඳහා ත්‍රීරෝද රථයකින් යාචකයෙකු රැගෙන ගොස් ඝාතනය කළ බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x