“මේ අවුරුදු කාලේ සිනා වෙයන් රාළේ තෙල් ඉහිරුණු කැවුම් ගෙඩිය වාගේ”

කැවුමේ  ඉතිහාසය ඉතා රසවත් ය. මිනිසාගේ උපතේ සිට කොණ්ඩා කැපීම, කන් විදීම, ඉඳුල් කට ගෑම, අකුරු කියැවීම, වැඩිවියට පත්වීම, විවාහය යන ජීවිතයේ අමරණීය අවස්‌ථාවලදී ද, කැවුම් ප්‍රමුඛ ස්ථානයක් ගනී. පිරිත් ගෙදර, දානෙ ගෙදර, ගෙවදීම ආදී අවස්‌ථාවලදී ද කැවුම ඉදිරියෙන් තිබේ.

කැවුම් යනු සියවස් ගණනක අතීතයක් ඇති රස කෑමකි.වත්මනේ දී කැවුමේ වැදගත්කම වැඩි වන්නේ සිංහල අලුත් අවුරුද්දේදී ය.රජ කාලයේ දී අලුත් අවුරුද්දට රජු බැහැ දැකීමට එන උසස් රාජ්‍ය නිලධාරින් ගෙනෙන තෑගිබෝග අතර කැවුමට මුල් තැනක් ලැබී ඇත. යුද පිටියේ දී කැවුම ඖෂධයක් විය. සොල්දාදුවන්ගේ කෑමට, තැනින් තැනට පහසුවෙන් මේවා ගෙන යා හැකි විය. තුවාල නරක් වීම වැලැක්වීය. කැවුම් වර්ග ද රාශියකි. හැඳි කැවුම්, මුං කැවුම්, උළුඳු කැවුම්, උටුපු, කොණ්ඩ කැවුම්, නාරං කැවුම්, උඳු කැවුම්, දිය කැවුම්, පැණි කැවුම්, කුඩු කැවුම්, ගෑරුප්පු කැවුම්, පනා කැවුම් ආදී වශයෙන් 18කි.

කැවුමේ රසයට වඩා එහි ඉතිහාසය ඉතා රසවත් ය.

“රසම රසකැවිල්ල කැවුම් බව කීවේ රොබට්‌ නොක්‌ස්‌ ය.සිංහලයන්ගේ රස කැවිලි පිළිබඳ ඔහු විසින් තම ලංකා ගමනය පිළිබඳ එදා හෙළ දිව ග්‍රන්ථයේ මෙසේ සඳහන් කොට ඇත්තේය”

“ඔවුන්ගේ රස කැවිලි විවිධය, ඒ රස කැවිලි අතර ප්‍රධානත්වයක්‌ ගන්නා කැවුම් සහල් පිටියෙන් හා පැනියෙන් සාදා ගනු ලැබේ. සහල්පිටි අනා ගුලි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලිකොට පැහෙන තෙල් ඇතිලියේ බහා පදමට කරවූ පසු තෙලෙන් එළියට ගනිති.”

මහෞෂධයන් අමරාදේවී පිරික්‌සීමට පවා කැවුම් ඉවීම කරවූ බව උමංදා කතුවරයා අගේට පෙන්වා ඇත. කුස ජාතකයේ එන කුස රජුගේ මුහුණ කැවුමකට උපමා කරයි. මහ රහතන් වහන්සේ නමකට කැවුම් තිබියදී නොදී තනිවම කෑ නිසා මතු ආත්මයේදී කුස රජුගේ මුහුණ කැවුමක්‌ වගේ සිටින සේ උපත ලැබීය. මසුරු සිටානෝ උඩු මහලට ගොස්‌ කාටත් හොරෙන් කැවුම් උයාකෑ නිසා, මුගලන් තෙරුන් විසින් මසුරුකම නැති කොට, නිවන් මඟට යොමු කළ හැටි, කැවුම් වගේම රසවත් කතාවකි.

ආදිතම යුගයේ සිට ම ඉපැරැණි මිනිසා අපේ රටේ බුද්ධ පූජාවට, දේව පූජාවට, යක්‍ෂ භූත ප්‍රේතයන් පිදීමට පමණක්‌ම නොව, අවුරුදු සමයේ නිවෙසේ සිටින කෝඳුරුවාට ද කැවුමක්‌ නූලකින් ගැට ගසා නිවෙසේ වහලේ එල්ලීම සිංහල ගැමි සිරිතකි. මෙතරම් ඉතිහාසයක්‌ ඇති ගැමි රස කැවිල්ලක්‌ වන කැවුම්, නිවෙසින් ඈත් වී ඇති බව අපට පෙනේ. කැවුම් අතරින් කොණ්‌ඩ කැවුමට විශේෂ තැනක්‌ හිමි වුව ද, එය හදාගන්නට නොදන්නාකමින්, අපේ ගැමි මේසයෙන් ඉවත්ව ගොස්‌ ඇත. ඊට ප්‍රධාන හේතුව වත්මන් ගෘහනියන් ,කැවුමේ කොණ්‌ඩය ගැනීමට නොදැන සිටීමයි.

සිංහලයාගේ කැවුම් කා රසයෙන් මත් වූ පෘතුගීසීන්ට, සිංහලයා යස පාඩමක්‌ ඉගැන්වූ හැටි දක්‌වන රසවත් ජනප්‍රවාද කතාවක්‌ මෙසේ ය. එකල සිංහලයන්ගේ බඩුමුට්‌ටු ගෙන යන විට පෘතුගීසීන් මඟදී කොල්ල කයි. ඔවුන්ට යස පාඩමක්‌ උගන්වන්නට ඕනෑ යෑයි හිතා දිනක්‌ දෙබර කූඩ දෙකක්‌ මලු දෙකකට දමා කට බැඳ, කදක බැඳගෙන කැවුම් කැවුම් කියමින් යනවිට, පෘතුගීසීන් පන්නාගෙන ඇවිත් එය උදුරා ගන්නට සැරසී ඇත. කුරුවිට රාළ එය බිමදා කැලයට දිව ගියේය. පෘතුගීසීන් ඒ මලු රැගෙන කට ලිහන විටම කෝපයෙන් හිටි දෙබරුන් ඔවුන්ට පන්න පන්නා අනින්නට විය. දෙබර විස ඉහවහා ගිය ඔවුන්ට කැවුම් රසයට වඩා නීරස වූ බව රස කතාවකට ගෙතී ඇත.

කැවුම් පිසීම සිදු කරන්නේ මෙසේ ය.

හාල් පිටි, පැණි හා පොල්තෙල් මීට අත්‍යවශ්‍ය ය. හාල් පිටි හා පැණි මිශ්‍ර කොට, උණු පොල් තෙල් සහිත තාච්චියක බදිනු ලැබේ. කොණ්ඩ කැවුම් සෑදීමට (කොණ්ඩය ගැනීමට) ඉරටු කූරක් භාවිතයට ගැනේ. රන් වන් පැහැ වී බැදුණු පසු, එය පිටතට ගනී.මීපැණි, කිතුල්පැණි, උක්‌පැණි, පොල්පැණි එදා මෙන්ම අදත් කැවුම් රසවත් කර ගැනීමට ගනී. වැඩි වශයෙන් කැවුම් ඉවීමට ගන්නේ පිරිසුදු පොල් තෙල් ය. කැවුම් පිසින්න නොදන්නේ නම් එය කාන්තාවන්ට මහත් අඩුවකි. මේ ආකාරයට කැවුම් සකස් කිරිමේ දී අපේ කාලයේ කැවුම් හදන කතාන්දරයද, අතීතයේ කැවුම් කතාන්දර ද, වර්තමානයේ කැවුම් මිලදී ගන්නට වෙළෙඳ පොළට යන ඇත්තන්ගේ රසබර කතාන්දර ද කැවුම්වලටත් වඩා රසවත්ය.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x