මෙරටින් රිළවුන් ලක්ෂයක් චීනයට රැගෙනයෑමේ සූදානම ගැන පරිසවේදී සංවිධානයක් ඊයේ (12) අදහස් පළ කළේය.
එහිදී අදහස් දැක්වූ පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා සඳහන් කළේ,
“යම්කිසි සත්ත්වයෙක් යවන්න පුළුවන් සංරක්ෂක කටයුත්තක් සඳහා හෝ සත්ත්වෝද්‍යානයක් වෙනුවෙන් කරන හුවමාරුවක් සඳහා පමණයි.”
“ඒ නිසා මාංශ සඳහා භාවිත කිරීම හෝ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යම්කිසි සත්ත්ව කොටසක් ලංකාවෙන් අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධි කටයුත්තක්.”
“චීනය ලංකාවේ රිළවුන්ව ඉල්ලනවා නම් කුමක් සඳහා කොපමණ සංඛ්‍යාවක් ද ඉල්ලන්නේ කියලා පැහැදිලි විස්තරයක් අපේ බලධාරීන් සතුව තිබෙන්න ඕනේ.”
ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීන රජයේ නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
මෙම ඉල්ලීම අනූව ලංකාවෙි රිලවුන් ලක්ෂයක් පළමු අදියර යටතේ ලබා දීම සඳහා විශේෂ සාකච්ඡාවක් බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.
මෙරට රිලවුන් විදේශ රටක් සඳහා ලබා දීමේ දී පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධව කරුණු අධ්‍යයනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත කමිටුවක් පත් කිරීමට පියවර ගත යුතු බව මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
එම කමිටුවට කෘෂිකර්ම අමාත්‍යාංශය, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ඇතුළත් විය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම කමිටුව වහාම පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සැකසීමට නියමිතය. ලංකවෙි රිලා ගහනය ලක්ෂ 30කට ආසන්න බව හෙළිදරව් වී තිබෙන අතර මෙරට වගා හානි සිදු කරන සතුන් අතර ප්‍රමුඛතමයා වන්නේ ද රිලවාය.