අධ්‍යාපන සහතිකය වෙනුවට NVQ4 සහතිකයක්

සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්, අසමත් බව නොසලකා 12 වැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර වෘත්තීය පුහුණුව ලබාදී උසස් පෙළ විභාගයේදී අධ්‍යාපන සහතිකය වෙනුවට දහතුන් වසරක පාසල් කාර්ය දර්ශකය සහ ජාතික වෘත්තීය සුදුසුකම් 4 මට්ටම (NVQ4) සහිත සහතිකයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත.

මෙහිදී ජාතික වෘත්තීය සුදුසුකම් 4 මට්ටම පාඨමාලා 90ක් සඳහා විවිධ අමාත්‍යාංශ යටතේ පවතින වෘත්තීය පුහුණු ආයතනවලට සිසුන් යොමු කිරීම සිදුකෙරෙන අතර, මාස හයක නිපුණතා පාදක ප්‍රායෝගික පුහුණුවක් සහ තවත් මාස හයක රැකියා ස්ථානයක පුහුණුවීමක්ද ලබාදීමට නියමිතය.

සිසුන්ට, මෝටර් රථ තාක්ෂණ, සංචාරක, තොරතුරු තාක්ෂණ, ඉදිකිරීම්, සෞඛ්‍ය හා සත්කාර සේවා, ලෝහ ශිල්පය, ඇඟලුම් ආදි විවිධ ක්ෂේත්‍රවලට යොමුවීමට පසුබිම සකසා ඇත.

මෙම වැඩසටහන යටතේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු වාර්ෂිකව අධ්‍යාපනයෙන් ඉවත්වන සිසුන් අසූදහසකට (80,000) අඛණ්ඩව අධ්‍යාපනය ලබාදීමටත්, අධ්‍යාපනය සම්පූර්ණ කරන සිසු අනුපාතය ඉහළ නැංවීමටද නියමිතය. ඒ යටතේ උසස් පෙළ හත්වන විෂය ධාරාව ලෙස ‘වෘත්තීය විෂය ධාරාව’ නම් කිරීමට යෝජිතය.

එමෙන්ම, රජයේ වෘත්තීය පුහුණු ආයතනවල NVQ4 පාඨමාලා සඳහා වාර්ෂිකව සිසුන් බඳවා ගැනීමේදී උසස් පෙළ ‘වෘත්තීය විෂය ධාරාව’ හදාරන ලද සිසුන්ට ප්‍රමුඛත්වය ලබාදීමටද රජය සැලසුම් කර තිබේ.

By Indusara-Media
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x