Site icon Radioeka

ලංකාවේ මැති සබේ තවත් 10ක් පිට රැටියෝ

The short URL of the present article is: https://radioeka.lk/pn9a

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් තවත් දහයකට ආසන්න සංඛ්‍යාවක් සහ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මින් වැඩි පිරිසක් ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරු වෙති.

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ සෙසු මන්ත්‍රීවරුන්ට එරෙහිවද ඉදිරියේදී අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් අප සමග පැවසූහ.

මේ අයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු හෝ අභියෝගයට ලක් කර නැතැයි පැවසේ. යමකු එසේ අභියෝග කළහොත් ඔවුනට එරෙහිව අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තෙක් පමණක් එම මන්ත්‍රී ධූරයන්හි රැඳී සිටිය හැකි බව අධිකරණ විශේෂඥයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත් එහිදී මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පැහැදිලි වශයෙන් අධිකරණය හමුවේ ඔප්පු කළ යුතුව ඇතැයිද ඔවුහු සඳහන් කරති.

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ ගීතා කුමාරසිංහ සහ ඩයනා ගමගේ යන මහත්මීන්ගේ මන්ත්‍රී ධූර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව අහෝසි කෙරිණ. මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගවලින් අනතුරුවය, ඒ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර ඇමරිකානු පුරවැසිභාවය නිත්‍යානුකූලව ඉවත් කර ගත්තේය.

බැසිල් රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන්ද පසුගිය කාලයේදී සමාජයේ ලොකු කතාබහක් ඇතිවූ නමුත් ඔහු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ එම ගැටලුව නිරාකරණයවිය.

(සුජිත් හේවාජුලිගේ )

Exit mobile version