Site icon Radioeka

අවරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව

The short URL of the present article is: https://radioeka.lk/t3du

පාසල් ශ්‍රේණි සංඛ්‍යාව 13 සිට 12 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළිදක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ සෑම දරුවෙකුටම අවරුදු 17න් පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සැලසෙනු ඇති.

එමෙන්ම පෙර පාසැල් අධ්‍යපනය වයස අවුරුදු 4 දීත්, ප්‍රථමික අංශය 1-5 දක්වාත්, කනිෂ්ඨ අංශය 6-8 ලෙසත්, ජ්‍යේෂ්ඨ අංශය 9 වසරේ සිට 12 වසර දක්වා ලෙස වර්ගීකරණය කර ඇත.

පහ ශිෂ්‍යත්ව විභාග‍ය සඳහා පාසැල් පාදක ඇගයීම්වලින් යම් ප්‍රතිශතයක්ද, විභාග මගින් යම් ප්‍රතිශතයක්ද ලෙස ලකුණු ලබාදීමට යෝජනා කර ඇති අතර, පහ ශිෂ්‍යත්ව විභාගය සරල කර තරගකාරීත්වය නැති කිරීමටද අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කර තිබේ.

එමෙන්ම සාමාන්‍ය පෙළ විභාගය 10 වසරේදීත් උසස් පෙළ විභාගය 12 වසරේදීත් පැවැත්වීමට, යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ අධ්‍යාපන අමත්‍යාංශය යෝජනා කර ඇත.

එහිදී දැනට සාමාන්‍ය පෙළ විභාගය සඳහා පවතින විෂයන් සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති අතර එම විෂයන් 7 තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT), තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන නව විෂයන් ත්‍රිත්වය හැදෑරීම අනිවාර්ය කිරීමට යෝජනා කර තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අනුව සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් කිසිදු දරුවෙකු අසමත් නොවන බවත් සියලු දරුවන්ට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසාදීමට යෝජනා කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ වෙනුවෙන් උසස් පෙළ විෂයන් ශාස්ත්‍රීය අධ්‍යනය හා වෘත්තීය අධ්‍යයනය ලෙස කාණ්ඩ දෙකකට වර්ගීකරණය කොට සෑම දරුවෙකුටම උපාධියක් ලබාගැනීම දක්වා මාර්ගයක් සකස් කර ඇත.

ශාස්ත්‍රීය අධ්‍යයනය යටතේ දැනට පවතින විෂය අංශයන් 6 සිට 8 දක්වා වැඩි කරමින් නව විෂය අංශ දෙකක් එක්කොට ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන ලදී.

එමෙන්ම ප්‍රයෝගික අධ්‍යනය යටතේ විෂය අංශයන් 10ක් ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලැබීම අවස්ථාව ලබෙන බවත් ඒ ඔස්සේ උපාධි නොවන ක්‍ෂේත්‍ර ඔස්සේ යමින් උපාධි ලබාගැනීමේ අවස්ථාව දරුවන්ට ලැබෙන බවද එම අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේය.

Exit mobile version