මධ්‍යම අධිවේගී මාර්ග ඉදිකිරීම් අසල වේයන්ගොඩ වඳුරව ප්‍රදේශයේ සිදුකරන ලද නිධන් කැණීමේ කටයුත්ත නවතා දමා ඇත.
නිධානයක් ඇතැයි කැණීම් සිදුකළ ස්ථානයෙන් ගොඩ ගෙන තිබුනේ විශාල ප්‍රමාණයේ ගල් කිහිපයක් පමණි.
ඒවාද විදුම් යන්ත්‍රයක ආධාරයෙන් කුඩා කොටස් බවට පත් කිරීමෙන් පසු කැනීම් කටයුත්ත අවසන් කර ඇත.
ඉන් අනතුරුවද විශේෂ කාර්ය බලකාය විසින් පොලොව අභ්‍යන්තර පරීක්ෂාවකට ලක්කර පැවසුනේ තවත් කිසිවක් ගැන සංඥා නොලැබෙන බවයි.
අවස්ථා කිහිපයකදී මෙම ස්ථානයේ නිදන් හැරීම හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයට සිදුවන හානි වළක්වා ගැනීමට අධිකරණයේ නියෝගයක් මත මහජනතාව ඉදිරියේ මෙලෙස නිධන් කැණීම සිදුකරන ලදී.
මෙම ස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ කර සදහන් කර ඇත්තේ එම ප්‍රදේශයේ පුරාවස්තු කිසිවක් නොමැති බවයි.
කෙසේ වෙතත් කැණීම් කටයුතු දැක බලා ගැනීමට පැමිණි ඇතැමුන් මාධ්‍ය වෙත පවසා සිටියේ නිධන් ගැනීමේ කටයුත්ත මේ ආකාරයෙන් කල නොහැකි බවත් නිධානයට අරක් ගත් බහිරවයා විසින් එහි ධනස්කන්දය අතුරුදන් කරන්නට ඇති බවත්ය.
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු ඊයේ පස්වරු 4ට අවසන් කෙරුණි.
කෙසේ වෙතත් අවස්ථා රැසකදී පොලිස් අත්අඩංගුවට ගැණුනු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණත් නැවත නැවතත් එම ස්ථානයේ නිධානය සොයා හෑරීම් සිදුවීම හේතුවෙන් ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ පාදම කොටසට අවදානම් තත්ත්වයක් මතුවුණි.
ඒ බව වේයන්ගොඩ පොලීසිය, අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසු අත්තනගල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ එම ස්ථානයේ නිධානයක් තිබේදැයි පොලිස් විශේෂ කාර්ය බළකායට සොයාබලන ලෙසය.
ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් අධීක්ෂණයෙන්, මහජනතාව ඉදිරියේ නිධානය සොයා කැණීම් කටයුතු ආරම්භ කෙරුණි.
රාජ්‍ය ආයතන රැසක් එක්ව සිදුකළ එම කටයුත්තේදී කිසිදු නිධානයක් හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත කිසිවක් හමුවී නොමැත.
No Comment! Be the first one.