‘විස්සෙන් රාජ්‍ය විගණනයට බරපතල අගතියක්’ – හිටපු කතානායක, අගමැතිට ලියයි

විගණන කොමිෂන් සභාව අහෝසි කිරීම මගින් විගණනයේ ස්වාධිනත්වය ඉබේම අහෝසි වී යන අතර විගණකාධිපතිද ඇතුලුව විගණනයට සම්බන්ධ සියලුමදෙනා ජනාධිපති විසින් පත් කරන සහ ජනාධිපතිට අවශ්‍ය විටෙක්

ඉවත් කළ හැකි (විසිවන සංශෝධනයට අනුව) රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතට පත්කිරීම, රාජ්‍ය විගණනයට සිදුවන බරපතල අගතියක් බව අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් හිටපු කතානායක කරු ජයසුරිය කියා සිටියි.

‘සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ’ සභාපති ලෙස කරු ජයසුරිය එබව සඳහන් කර ඇත්තේ, “විසිවෙනි සංශෝධනයෙන් විගණකාධිපතිවරයාගේ බලතල කප්පාදු වෙන බවට විපක්‍ෂය ගෙන යන ප්‍රචාර” යන මාත්‍යාකාව යටතේ අගමැතිවරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

කරු ජයසුරිය විසින් අගමැතිවරයා වෙත යොමුකර ඇති ලිපියේ මෙසේද සඳහන් වේ.

”අධිකරණ අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පලකරන ලද සහ ඔහු විසින් 2020 සැප්තැම්බර් 02 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විසිවන ආණ්ඩුක්‍ර ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව සමාජය තුළින්ද ආණ්ඩුපක්‍ෂයේ ඇතැම් පාර්ෂව තුළින්ද මතුව ඇති මූලික විරෝධයක් වන විගණකාධිපතිවරයාගේ බලතල අඩු කිරීම සම්බන්ධ චෝදනාවට ලබා දී ඇති පිළිතුර පිළිබදව අපගේ අවධානය යොමු කර ඇති අතර ඊට අදාලව පහත කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරමි.

01 විගණනයේ ස්වාධිනත්වය ඉබේම අහෝසි වී යාම :

මූලික වශයෙන්ම මාධ්‍ය නිවේදනයෙන් දක්වන්නේ විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කිරීම මගින් විගණනයට හානියක් සිදු නොවන බවය.

විගණන සේවා කොමිෂන් සභාව මගින් සිදුකරන ලද්දේ විගණනය සිදුකරන නිළධාරීන් සදහා වෙනම සේවාවක් ස්ථාපනය කිරීම මගින් විගණනය ස්වාධින සේවාවක් බවට පත් කිරීමය.

එකී කොමිෂන් සභාව අහෝසි කිරීම මගින් විගණනයේ ස්වාධිනත්වය ඉබේම අහෝසි වී යන අතර විගණකාධිපතිද ඇතුලුව විගණනයට සම්බන්ධ සියලුමදෙනා ජනාධිපති විසින් පත් කරන සහ ජනාධිපතිට අවශ්‍ය විටෙක් ඉවත් කළ හැකි (විසිවන සංශෝධනයට අනුව)රාජ්‍ය සේවා කොමිෂන් සභාව යටතට පත්වේ. එය රාජ්‍ය විගණනයට සිදුවන බරපතල අගතියකි.

02 ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය:

ජනාධිපති කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය විසිවන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මගින් විගණකාධිපතිවරයාගේ විෂය පථයෙන් ඉවත් කර ඇති අතර එය සාධාරණී කරණය කරන අගමැතිතුමා පවසන්නේ එම ආයතන දෙක දෙපාර්තමේන්තු ලෙස සලකා විගණකාධිපතිට විගණනය කළ හැකි බවයි.

නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විගණකාධිපතිගේ විෂය පථයට ප්‍රකාශිතව ඇතුළත්ව තිබූ ආයතන දෙකක් සංශෝධනයක් මගින් ඉවත් කිරීමෙන් නීති සම්පාදකයන්ගේ අරමුණ එම ආයතන දෙක විගණකාධිපතිගේ විෂය පථයෙන් ඉවත් කිරීම බව පැහැදිව පෙනී යයි.

”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විගණකාධිපතිගේ විෂය පථයට ප්‍රකාශිතව ඇතුළත්ව තිබූ ආයතන දෙකක් සංශෝධනයක් මගින් ඉවත් කිරීමෙන් නීති සම්පාදකයන්ගේ අරමුණ එම ආයතන දෙක විගණකාධිපතිගේ විෂය පථයෙන් ඉවත් කිරීම බව පැහැදිව පෙනී යයි.”

03 රජයට අයත් සමාගම් :

රජයට අයත් සමාගම් විගණකාධිපතිගේ විෂය පථයෙන් ඉවත් කිරීම පිලිබදව කරුණු දක්වන ගරු අගමැතිතුමා ප්‍රකාශ කරන්නේ එම සමාගම් වල විගණනය භාර පුද්ගලික සමාගම් වල විගණනය විගණකාධිපතිගේ අධීක්‍ෂණය යටතේ සිදුකළ යුතු බවට නියෝග කිරීමට විගණකාධිපතිට බලය ඇති බවයි.

රාජ්‍ය සමාගම් විගණකාධිපතිගේ විගණනයට දක්වන ලද අඩු සහයෝගය සහ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවට උත්තර දීමට දක්වන ලද අඩු උනන්දුව සලකන කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ලිඛිතව සදහන් කිරීමකින් තොරව රාජ්‍ය සමාගම් විගණකාධිපතිගේ විෂය පථයට ඇතුළත් කළ නොහැක.

එසේම විගණකාධිපතිගේ විෂය පථයට යටත්ව පැවති රාජ්‍ය සමාගම් සංශෝධනය මගින් ඉවත් කරන්නේ නම් එහි අර්ථය වන්නේ ව්‍යවස්ථා සම්පාදකයින්ගේ අරමුණ එය විගණකාධිපතිගේ විෂය පථයෙන් ඉවත් කිරීම බවයි.

මේ නිසා අගමැතිතුමා පවසන පරිදී රාජ්‍ය සමාගම් වලින් 50% ක් නොව 100%ක්ව රාජ්‍ය විගණනයෙන් ඉවත්වේ.

”විගණකාධිපතිගේ විෂය පථයට යටත්ව පැවති රාජ්‍ය සමාගම් සංශෝධනය මගින් ඉවත් කරන්නේ නම් එහි අර්ථය වන්නේ ව්‍යවස්ථා සම්පාදකයින්ගේ අරමුණ එය විගණකාධිපතිගේ විෂය පථයෙන් ඉවත් කිරීම බවයි. මේ නිසා අගමැතිතුමා පවසන පරිදී රාජ්‍ය සමාගම් වලින් 50% ක් නොව 100%ක්ව රාජ්‍ය විගණනයෙන් ඉවත්වේ.”

04 ‘සුදුසුකම්ලත් විගණනවරයකු’ ?

විගණකාධිපති පත් කිරීම පිලිබදව සදහන් වන ව්‍යවස්ථාවේ “සුදුසුකම්ලත් විගණනවරයකු” යන්න ඉවත් කිරීම මගින් ප්‍රායෝගිකව වෙනසක් සිදු නොවන බව ගරු අගමැතිතුමා ප්‍රකාශ කළද විගණකාධිපති ලෙස සුදුසුකම්ලත් විගණනක වරයකු හැර වෙනත් තැනැත්තෙක් පත් කිරීමට අදහස් නොමැති නම් එම ප්‍රතිපාදනය ඉවත් කිරීමට මෙම සංශෝධනය මගින් අදහස් කරන්නේ කුමක් නිසාද? යන ප්‍රශ්නය මතුවේ.

04 විගණනය වඩාත් ශක්තිමත් කරන සංශෝධන ගෙන ඒම:

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුකිරීමට උත්සාහ කරනු ලබන්නේ 19 වන සංශෝධනය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ලද සංශෝධන ඉවත් කර 19 වන සංශෝධනයට පෙර පැවති තත්වයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒම බවට ගරු අගමැතිතුමා සදහන් කරයි.

මෙම 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විගණනයට කිසිදු බලපෑමක් සිදුකිරීමට අදහස් නොමැති නම් කළ යුතු හොදම දෙය වන්නේ එකී වගන්තිවලට සංශෝධන ගෙන ඒමෙන් වැළකීම හෝ විගණනය වඩාත් ශක්තිමත් කරන සංශෝධන ගෙන ඒමයි.

”20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් විගණනයට කිසිදු බලපෑමක් සිදුකිරීමට අදහස් නොමැති නම් කළ යුතු හොදම දෙය වන්නේ එකී වගන්තිවලට සංශෝධන ගෙන ඒමෙන් වැළකීම හෝ විගණනය වඩාත් ශක්තිමත් කරන සංශෝධන ගෙන ඒමයි.”

05 බරපතල පරස්පරතාවක් !

දැනටමත් නීතිපතිතුමා විසින් 20වන සංශෝධනයේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන බවට වූ යෝජනාවලියක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

එකී ලියවිල්ල සහ ගරු අගමැතිතුමාගේ මෙම මාධ්‍ය නිවේදනය අතර බරපතල පරස්පරතාවක් පවතී.

එබැවින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබද කාරක සභා අවස්ථාවේදී රාජ්‍ය විගණනය සම්බන්ධව ධනාත්මක සංශෝධන මෙම කෙටුම්පතට ඇතුළත්විය හැකි යැයි කිසිසේත් විශ්වාස කළ නොහැකිය.

06 අගමැතිතුමන්ගේ කාර්යයක් :

කෙසේ හෝ ජාතික වැදගත්කමින් යුත් කරුණක් ගැන ගරු අගමැතිතුමාගේ අවධානය යොමු කිරීම අගය කරන අතර සාම්ප්‍රදායානුකූලව මෙම පනත නියම වශයෙන් ඉදිරිපත් කළ යුත්තේ අමාත්‍ය වරයෙකු විසින් නොව, ගරු අගමැතිතුමන් විසින් බවද කාරුණිකව පෙන්වා දෙනු කැමැත්තෙමි. ”

-Lanka Lead News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *