සාක්ෂි ලබාදෙමින් සිටි රනිල් අසනීප තත්ත්වයක් හේතුවෙන් පාස්කු කොමිසමෙන් පිටව යයි


යහපාලන ආණ්ඩුවේ මුස්ලිම් මැති ඇමතිවරුන් ඉවත්ව යනු ඇති බවට පැවති බිය හේතුවෙන් ඉස්ලාම් අන්තවාදයට එරෙහිව කටයුතු කිරීමට හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විරුද්ධ වු බව හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප‍්‍රහාරය පිළිබද සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණයක් සිදු කළා. ඒ, පළමු වරට එම කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්. 

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ නිකාබය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට වූ ආරක්ෂක ප‍්‍රධානීන්ගේ යෝජනාවට ද හිටපු රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයා විරුද්ධ වූ බවයි. වෙනත් රටවල ද  ඕනෑ තරම් මෙවැනි ප‍්‍රහාර එල්ල වූ අවස්ථාවල ජනාධිපතිවරයා වගකීම භාරගෙන නොමැති අතර රටක ත‍්‍රස්තවාදය මර්දනය ආරක්ෂක අංශවල වගකීමක් වන බවයි හිටපු ජනාධිපතිවරයා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සදහන් කළේ. සාක්ෂි විමසීම අතරතුර හරස් ප‍්‍රශ්න විමසූ රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ‘‘2019 අපේ‍්‍රල් 08 වන දින ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරි රැස්වීමට එවකට පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා සහභාගි වුයේදැයි හිටපු ජනපතිවරයාගෙන් විමසා සිටියා. 

එහිදී හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කළේ එම රැස්වීමට ඔවුන් දෙදෙනා සහභාගි වූ බවත්, ඒ වන විට නිලන්ත ජයවර්ධන මහතාට ලැබී තිබූ ප‍්‍රහාරයක් පිළිබඳ පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර ගැන ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකු තමන්ව දැනුවත් නොකළ බවයි.

මෙරටට ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවක් එල්ල වු බව විදෙස්ගතව සිටි තමාව පළමුව දැනුවත් කරන ලද්දේ තම ආරක්ෂක අංශයේ ප‍්‍රධානියා වන අතර ඔහු ඒ පිළිබද සමාජ ජාලවලින් දැනුවත් වී සිටි බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා. එම අවස්ථාවේදිම එවක ජනාධිපති ලේකම්වරයා වූ උදය ආර්.සෙනවිරත්න තමන් අමතා සිදුවීම පිළිබඳ දැනුවත් කළ බවත් ඉන්පසු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන තමන් ඇමතු බවත් හිටපු ජනාධිපතිවරයා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සදහන් කළේ.

මේ අතර හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සාක්ෂි ලබාදීම සඳහා පාස්කු ප‍්‍රහාරය පිලිබද සොයා බැලෙන ජනාධිපති කොමිසම වෙත අද පැමිණියා. පැය එක හමාරක කාලයක් සාක්ෂි ලබාදීමෙන් අනතුරුව, අසනීප තත්ත්වයෙන් පසුවන බව පවසා, කොමිසමට දැනුම්දීමෙන් අනතුරුව ඉන් පිටව ගියා.  කොමිසමෙන් පිටව යන අවස්ථාවේදී හිටපු අග‍්‍රාමත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නවලටද, පිළිතුරු නොදීම ඔහු එම ස්ථානයෙන් පිටව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබන 13 වනදා පාස්කු ප‍්‍රහාරය පිලිබද සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.

-nethnews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *