වෙන්ඩ ජනාධිපතිගේ ‘ඩීල්’ දේශපාලනය කරළියට ඇවිත් – මහාචාර්ය නලින් ද සිල්වා

උකුස්සන් විසින් ඇති කෙරී රැක බලාගැනෙන, පණුවන් කන සාම පරෙවියන් තමන් බව තේරුම් ගැනීමට ශක්තියක් නැති ඇතැම් වමාලා ජිජැක් මගින් ජාතිකවාදය තේරුම් ගන්න උත්සාහ ගන්නවා. සිංහලෙන් ලියන දේ තේරුම් ගැනීමට නොහැකි පඬි නැට්ටන්ගේ ඉංගිරිසි දැනුම විශ්මය ජනකයි. ඒ කුමක් වුවත් ජිජැක්ටත් වමාලාටත් මොනව හරි ලියනව කියනව හැරෙන්නෙ වෙන කරන්න දෙයක් නැහැ. දැන් වමක් ඇත්තෙත් නැහැ. නැති වමකට සම්ම ජාතියේ නොවෙයි සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකටවත් බලයට එන්නත් බැහැ. වමාලා ජාතික කඳවුර ගැන කරදර නොවී වම නැති වුණේ මොකද කියල හොයල බලනව නම් හොඳයි. අර තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙ පේන්නෙ නැතිව අනෙකුකගේ ඇහේ තියෙන පොල් කෙන්ද ගැන කතා කිරීම තමයි වමාලා කරන්නෙ.

මාක්ස්වාදය කියන්නෙ බටහිර නූතනත්ව ජාත්‍යන්තර ක්‍රිස්තියානි (කතෝලික නොවෙයි) සංස්ථාපිතය විසින් ජාතිකත්වයට විරුද්ධව අටවන ලද මරාලයක් ද කියන සැකය මගේ හිතේ තියෙනවා. මාක්ස්වාදයෙ ජාතිය වෙනුවට නැති පංතියක් ගැන කතා කරල ඊනියා කම්කරු පංති ආඥාදායකත්වයක් පිහිටුවන්න කතා කෙරුණෙ ඇයි ද කියන එක දැන් දැන් වැටහෙනවා. කම්කරු පංති ආඥාදායකත්වය ඊනියා ෆැන්ටසියක් ද කියා මා අහන්න කැමති නැත්තේ ඔය ෆැන්ටසිය කියන එකත් තේරුමක් නැති සංකල්පයක් නිසා. අද එක පැත්තකින් අර සංස්ථාපිතය වම අත්හැරලා. අනෙක් පැත්තෙන් ජාතිකත්ව රැල්ලක් ඇවිල්ල.

ඔය වමාලා සමහරු අසූගණන්වල අග හා අනූගණන්වල මුල අපත් සමග හිටියා. ඇතැමුන් හිතුවේ අප පශ්චාත්නූතනවාදී කියා! එහෙමත් නැත්නම් වමේ කියා. එකල කාලය සඟරාවට වමේ කියන බොහෝ දෙනෙක් ලිවුවා. උදාහරණයකට අනිද්දා පත්තරේ කතෘ පෙරේදා කාලය සඟරාවේ චිත්‍ර ඇන්දා. පසුව ලක්මිණ පත්තරෙත් වැඩ කළා. ලක්මිණේ වැඩ කළ විශාල පිරිසක් හිටියා. එකල පූර්ණකාලීන වමකු වූ විමල් වීරවංශ, සුනිල් මාධව, ඩලස් අලහප්පෙරුම, චම්පක රණවක ආදීන් වැඩ කළා. මගේ ඇතැම් පොත්වල කංචුකය සකස් කෙළේත් ජනරංජන. නමුත් පසුව ඔවුන් තේරුම් ගත්තා අප වමේවත් පශ්චාත්නූතනවාදීවත් නොවන බව.

ජාතික කඳවුරේ ප්‍රශ්න තියෙනවා. අප ඒවා බේරා ගන්නම්. ජාතික කඳවුරේ ඇති ප්‍රධාන ම ප්‍රශ්නය එහි ජාතිකත්වය ඇති හා නැති පුද්ගලයන් යනුවෙන් දෙවර්ගයක් සිටීම. අද ජාතික කඳවුර ජාතිකත්වයක් නොමැති පුද්ගලයකුගේ යටතට පත් කර ගැනීමට උත්සාහයක් දැරෙනවා. ඒ පුද්ගලයාගේ නම මා කියන්නේ නැත්තේ මෙහි ලියැවෙන දේ ඔප්පු කරන මෙන් ඔහුගේ හෙංචයියන් අභියෝග කරන නිසා. ඒ ඔප්පු කරන්න මට සාක්‍ෂි ඉදිරිපත් කරන්න බැහැ. බද්‍යුද්දීන් වැන්නන් මා වෙනුවෙන් සාක්‍ෂි දීමට එන්නේ නැහැ. මේ තානාපතිකම නැතිවේය කියා ඔහුගේ නම නොකියා ඉඳීමක් නො වෙයි. දරුවන් කුඩා කළ අවුරුදු දොළහක් රැකියාවක් නැතිව සිටි මට දැන් වයසට ගිය පසු වැටුපක් හරි දීමනාවක් හරි අවශ්‍ය නැහැ. මා සසුනට කැමතියි. මියන්මාරයේ ඉන්නෙ ඒ නිසා. මා කරන්නේ මා කැමති වැඩ. මා කැමති වැඩට ජාතික කඳවුරේ ජාතිකත්වයක් නැති අය අකමැති නම් ඔවුන්ට තීරණයක් ගන්න පුළුවන්. ඔවුන්ගේ තීරණය වැඩක් නැහැ. ජනාධිපතිතුමා තීරණයක් ගන්න කම් මා ඉන්නවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට යම් ජාතිකත්වයක් තියෙනවා. අගමැති මහින්ද රාජපක්‍ෂට පළපුරුද්දෙන් අත්කර ගත් ජාතිකත්වයක් තියෙනවා. චමල් රාජපක්‍ෂටත් සුළු වශයෙන් හරි ජාතිකත්වයක් තියෙනවා. එහෙත් අනෙක් අය ගැන අපට එහෙම කියන්න බැහැ. 2015 දී පැරදුණේ ඔවුන් ජාතිකත්වය අමතක කර වැඩ කළ නිසා. ඔය දක්‍ෂ යැයි කියන පුද්ගලයන්ට එදා පරාජය වළක්වන්න බැරි වුණා. හුදු පක්‍ෂ ව්‍යුුහවලින් මැතිවරණ දිනන්න බැහැ. පොදු පෙරමුණට හරි හමන් ව්‍යුහයක්වත් නැහැ. එහෙත් ජනාධිපතිවරණයත් මැතිවරණයත් ජය ගත්තා. ඒ අහවල් පුද්ගලයකු නිසා නො වෙයි. අහවල් පුද්ගලයන්ට 2015 දිනන්න බැරි වුණා. ජනාධිපතිවරණය හා මැතිවරණය දිනුවේ ඡන්දදායකයන් බහුතරයකට ජාතිකත්වයක් අවශ්‍ය වූ නිසා මිස එක එක පුද්ගලයාගේ සංවිධාන ශක්තියක් නිසා නො වෙයි.

ආණ්ඩුවේ ඇතැමුන් කෙක්කෙන් හරි කොක්කෙන් හරි විස්ස සම්මත කර ගන්න හදනවා. සම්මත කර ගන්නවා කියන්නෙ තුනෙන් දෙකක් ගැනීම. මැතිවරණයට නොව ජනාධිපතිවරණයට පෙර සිට ම පත්වන ආණ්ඩුව ගැන මට සැකයක් තිබුණා. ජනාධිපතිවරණය සිංහලයන්ගේ ඡන්දවලින් පමණක් දිනන්න පුළුවන් බව මට පෙනී ගියා. පාස්කු ප්‍රහාරයත් එයට හේතුවක් වුණා. විශේෂයෙන් ම සිංහල කතෝලිකයන් ජාතිකත්වයට නැඹුරු වීමට පාස්කු ප්‍රහාරය හේතු වුණා. එහෙත් මැතිවරණය ජයග්‍රහණය කළත් තුනෙන් දෙකේ බලයක් නොලැබෙන බව මට පෙනී ගියා. එහි දී නැවතත් තුනෙන් දෙක ලබා ගැනීම සඳහා ගණුදෙනු (ඩීල්) දේශපාලනයකට ඇදී යන බව මා තේරුම් ගත්තා. අප ප්‍රවේසම් විය යුතු බව මා එකල ම කියලත් තියෙනවා ලියලත් තියෙනවා.

මැතිවරණයෙන් සියල්ල එකතු වී මන්ත්‍රී ධුර 150ක් ලැබීමට ප්‍රධාන හේතුව සජිත් රනිල් අරගලය. එ ජා ප හිතවතුන් යම් පිරිසක් ඡන්දපොළට ගියේ නැහැ. එහි වාසිය නිසයි මන්ත්‍රීධුර 150ක් ලැබුණෙ. අද කතානායක පත් කර ගැනීමෙන් පසු 150 149ට බැහැලා. දැන් ඩීල් දේශපාලනය. මෙච්චර අමාරුවෙන් ඩීල් දාන්නෙ මොකක් සඳහා ද? නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට තරම් මේ පාර්ලිමේන්තුව සුදුසු නැති බව මා ජනාධිපතිවරණයට පෙරත් කියා ඇති. ඒ කෙසේ වෙතත් ඔවුන් නව ව්‍යවස්ථාවක් ගේනවා කියනවා. එසේ නම් එය ගෙනෙන තුරු ඉන්න. විස්ස ගෙන ඒමට මෙතරම් තදියමක් මොකද?

විස්සේ අරමුණ වත්මන් ජනාධිපතිට බලතල දීම නොවෙයි. වෙන්ඩ ජනාධිපතිට බලතල ලබා දීම. කොහොම හරි යම් විරුද්ධතා මැද සංශෝධන කිහිපයක් ගෙන ඒමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. නීිතිපති ඒ ගැන අධිකරණයට දන්වලා. එහෙත් කාරක සභා අවස්ථාවේ දී ඒ සම්මත කර ගන්නේ කෛස් ද යන ප්‍රශ්නය තියෙනවා. දහනවය සම්මත කර ගැනීමේ දී කාරක සභා අවස්ථාවේ ගෙන ආ සංශෝධනවලට වුණෙ මොකක් ද කියල දන්න කෙනෙක් නැහැ.

ඒ මොන සංශෝධන කළත් අර ද්විත්ව රටවැසි කතාවට අත තියන්න වෙන්ඩ ජනාධිපති ඉඩ දෙන්නෙ නැහැ. ඔය හැම ඩීලයක් ම තමන් සඳහා. බද්‍යුද්දීන්ගේ සොහොයුරා ගැන මානව හිමිකම් අයිතිකාරයො කතා කළා. ඒත් ඔහු නිදහස් වුණෙ ඒක නිසා කියා මා විශ්වාස කරන්නෙ නැහැ. පොලීසිය කිසි දිනෙක මැත ඉතිහාසයේ දේශපාලනඥයන්ගෙන් නිදහස් වුණෙ නැහැ. පූජිත ජයසුන්දරලා කියන්නෙ ඒ කතාව. බද්‍යුද්දීන්ගෙ සහෝදරයා පාස්කු ප්‍රහාරයේ වග කිවයුත්තන් ඇසුරු කළ බව කී පොලිසිය අද කියන්නේ ඔහුට විරුද්ධව සාක්‍ෂි නැහැ කියා. සාක්‍ෂි කියන්නෙ මොනවට ද කියා මට නිච්චියක් නැහැ.

ඡන්දදායකයන් බහුතරයක් මේ ආණ්ඩුව දෙමළ හරි මුස්ලිම් හරි දේශපාලනඥයන් නැතිව ගෙන යෑමට හැකි වන පරිදි පත්කර ගත්තෙත් සිංහල ඡන්දදායකයන්ගෙ ඡන්දයෙන් පමණක් ජනාධිපති පත් කර ගත්තෙත් පුද්ගලික පරමාර්ථ වෙනුවෙන් ඩීල් දේශපාලනය කරන්න නො වෙයි. වෙන්ඩ ජනාධිපතිගේ අභිප්‍රාය පරාද කරන්න ඕනෙ. ද්විත්ව රටවැසි කතාවෙ තියෙන භයානකකම අධිකරණයෙ දි හෙළිදරවු වුණා. ඇතැම් රටක රටවැසිකම තියෙන අයෙකු ජනාධිපති වුණොත් ඔහුට ලංකාවට පක්‍ෂපාත වෙන්න බැහැ. අපට ඕන එවැනි වෙන්ඩ ජනාධිපති කෙනෙක් ද? බද්‍යුද්දීන්ලාගෙ හරි වෙනත් කාගෙ හරි ඡන්දවලින් විස්ස සම්මත කර ගත්තොත් 2015 දි වුණු එක 2025 දිත් වේවි. වෙන්ඩ ජනාධිපති තම රටට යාවි.

උපුටා ගැනීම නලින් ද සිල්වා Facebook පිටුව- Lanka Lead News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *