කටුවාපිටියෙන් මතු වූ විරෝධය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රියාජ් බදියුදීන් අධිකරණයට ඉදිරිපත් කිරීමකින් තොරවම නිදහස් කිරීමට එරෙහිව කටුවාපිටිය ප්‍රදේශයේ ජනතාව අද (04) විරෝධතාවක් සංවිධානය තිබුණි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ කටුවාපිටිය දේවස්ථානය අසලදී එම විරෝධතාවය පැවැත්විණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් මහතා ඉකුත් අප්‍රේල් මස 14 වනදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පණතේ විධිවිධාන ප්‍රකාරවය.

එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එදින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ රියාජ් බදියුදීන් මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවෙකු සමඟ සෘජුවම සම්බන්ධතා පවත්වා ඇති බවට සාක්ෂි පවතින බවය.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි රියාජ් බදියුදීන් මහතා පසුගිය 30 වනදා නිදහස් කිරීමේන් පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ ගැන පැවසුවේ නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඔහුව නිදහස් කළ බවය.

මෙම හේතු දැක්වීම් පිළිබඳ අප්‍රසාදය පළ කරමින් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේ ඔහු නිදහස් කිරීම පිටුපස දේශපාලන ගනුදෙනුවක් ඇතැයි තමන් සැක කරන බවය.

මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ නුවන් වෙදසිංහ මහතාව බස්නාහිර (උතුර) වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර යවා තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති එස්.පී. රණසිංහ මහතාය.

-adaderana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *