යුද හමුදා ධජවලට ජය සිරිමහ බෝ සමිඳු අබියස දී සෙත් පතයි

ඔක්තෝබර් මස 10 වැනිදාට යෙදී තිබෙන ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 71 වැනි සංවත්සර සැමරුමට සමගාමීව, සියලූම යුද්ධ හමුදා ධජ සඳහා ආශිර්වාද ලබා ගැනීමේ අරමුණෙන් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ ආගමික උත්සවය ඊයේ (30 දා* උදෑසන අනුරාධපුරය ඓතිහාසික ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ අබියස දී පැවැත්විණි.

අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ ආශිර්වාද පරිදි, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.

සාම්ප‍්‍රදායික හේවිසි සහ ම`ගුල් බෙර පෙරටු කරගත් අලංකාරවත් පෙරහැරකින් මෙම යුද හමුදා ධජ, ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ගෙන ඒම සිදුවිය.

අනතුරුව අටමස්ථානාධිපති නා හිමිපාණන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය එම ධජවලට ආශීර්වාද කළහ.

ඉන් අනතුරුව ඉකුත් යුද්ධයේ දී තම ජීවිත පරිත්‍යාග කළ සොල්දාදුවන්ට සහ තුවාල ලැබ ආබාධිතව සිටිනා රණවිරුවන්ට, රටට සහ ජාතියට සෙත් පතා විශේෂ පිරිත් දේශනාවක් ද මෙහිදී පැවැත්විණි.

යුද හමුදා මූලස්ථානය, ස්වෙච්ඡුා බළසේනා මූලස්ථානය, සියලූම ආරක්ෂක සේනා මූලස්ථාන, සියලූ ඉදිරි නඩත්තු පෙදෙස මූලස්ථාන, සේනාංක, බළසේනා, රෙජිමේන්තු, ඒකක සහ යුද හමුදා පුහුණු පාසල් නියෝජනය කරමින් ධජවලට මෙහිදී ආශිර්වාද පිරිනැමීම සිදුවිය.

ප‍්‍රධාන උත්සවයෙන් අනතුරුව යුද හමුදාපතිවරයා විසින් ඓතිහාසික ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ සංවර්ධන කටයුතු සහ එහි වැඩ සිටිනා මහා සංඝයා වහන්සේලාගේ සුබ සිද්ධිය උදෙසා රුපියල් මිලියනයක මූල්‍ය පරිත්‍යාගයක් අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වෙත පූජා කිරීම සිදුවිය.

ශ‍්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරිහු සහ ගිහි පැවිදි විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අනුරාධපුර – සිරිල් බස්නායක-divaina

Leave a Reply

Your email address will not be published. Required fields are marked *