කටානේ කෝටි පහක කොල්ලයක්

යතුරුපැදියකුත් ඇවිත් මීගමුව, කටාන අක්කරපනහ මාවතේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසට ඊයේ (30 වැනිදා) උදෑසන කඩාවැදුණු ආයුධ සන්නද්ධ මැරකල්ලියක් නිවැසියන්ට මරණීය තර්ජන එල්ල කර නිවසේ තිබූ රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදල් සහ රුපියල් කෝටි එකහමාරක් වටිනා රන් අභරණ තොගයක් කොල්ල කා පලා ගොස් තිබේ.

ඇල්ටෝ වර්ගයේ නිල් පැහැති මෝටර් රථයකින් පැමිණි කොල්ලකරුවන් පස්දෙනකු මෙම කොල්ලය සිදු කර ඇති අතර ඔවුන්ගේ සහායට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු නිවස ඉදිරිපිට ඔත්තු බලමින් සිට ඇතැයි පොලිසිය සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

ස්වයංකී‍්‍රය රිවෝල්වර සහ ටී. 56 ගිනි අවිවලින් සන්නද්ධව සුදු කමිස සහ කළු කලිසම් හැඳ මුහුණු ආවරණ පැළඳ කොල්ලකරුවන් මෙම කොල්ලය සඳහා පැමිණ ඇතැයි නිවසේ සීසීටීවී දර්ශන නිරීක්‍ෂණය කිරීමේදී පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

තමන් ආරක්‍ෂක අංශ සාමාජිකයන් බවට අඟවා උපක‍්‍රමශීලීව නිවසට කඩාවැදුණු කොල්ලකරුවන් මුලින්ම එහි සිටි ව්‍යාපාරිකයාට, ඔහුගේ පුතුට සහ නිවසේ මුරකරුට ගිනි අවි එල්ල කර මරා දමන බවට බිය ගන්වා නිවසේ ඇති මුදල් ඉල්ලා ඇත.

නිවැසියන් මුදල් නොමැති යැයි කීමේදී නිවසේ සිටි සියලූ දෙනා එක කාමරයක සිරකර නිවසේ තිබූ අල්මාරි හා සේප්පු කඩා මෙම කොල්ලය සිදු කර ඇතැයි ද පොලිසිය මෙතෙක් සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

මෙම සිද්ධියට මුහුණ දුන් ජෙරාඞ් ප‍්‍රනාන්දු නමැති කෝටිපති ව්‍යාපාරිකයා දිවයිනේ ප‍්‍රධාන පෙළේ බීඩි නිෂ්පාදකයකු මෙන්ම නිවාස සංකීර්ණ ඉදිකිරීම සහ ඉඩම් මිලදී ගෙන විකිණීම් ආදී ලෙසින් ව්‍යාපාර කිහිපයක්ම කරගෙන ගොස් ඇත.

නිවසේ තිබූ මුදල් හා රන් අභරණ පැහැරගත් මෙම කොල්ල කල්ලිය විනාඩි 45ක පමණ කාලයක් තමන්ට මරණීය තර්ජන එල්ල කර නිවසේ රැු`දී සිටිමින් කොල්ලය සිදු කළ බව නිවැසියන් පොලිසියට සඳහන් කර ඇත.

කොල්ලය සඳහා පැමිණි කල්ලියේ නායකයා යැයි සිතිය හැකි පුද්ගලයා රැුවුල වවාගත් වයස අවුරුදු 45ක පමණ අයකු වූ අතර අනෙක් පිරිස වයස අවුරුදු 25-30 අතර තරුණයන් යැයි පෙනී ගිය බව ද නිවැසියන් පොලිසියට පවසා ඇත.

සිද්ධියට මුහුණ දුන් ව්‍යාපාරිකයා ඇතුළු නිවැසියන් වැඩිදුරටත් පොලිසියට ප‍්‍රකාශ කර ඇත්තේ රැුවුල වවාගෙන සිටි කල්ලියේ නායකයා යැයි සිතිය හැකි පුද්ගලයා කොල්ලය සිදු කරන අවස්ථාවේ කිසිදු කතාබහක් නොකළ බවයි.

කොල්ලකෑම සිදු කළ සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නැත.

මෙම සිද්ධිය වාර්තා වූ වහාම මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා මහාතා සිද්ධි වූ ස්ථානයට මීගමුව, කොච්චිකඬේ සහ කටාන යන පොලිස් ස්ථානවලින් මෙන්ම පෑලියගොඩ අපරාධ කොට්ඨාසය සහ මීගමුව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කැඳවා පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

සමන් ගමගේ, මීගමුව සමූහ විමල් කීර්ති,  මිනුවන්ගොඩ ටෝනි කරුණානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *